ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ
2021 වසරේ ධනවත්ම පාපන්දු ක්‍රීඩකයා ලෙස ඔහු මෙලෙසින් මුල්තැනට පැමිණ සිටින්නේ, පාපන්දු ක්‍රීඩකයකු ලෙස හරි හම්බ කරන මහා ධනස්කන්ධය නිසා නොවේ. ලෝක පාපන්දු පිටියේදී- පාපන්දු ක්‍රීඩාව වෙතින් ධනය උපයන ක්‍රීඩක ලැයිස්තුවේ තවමත් ඔහු සිටින්නේ, ආර්ජන්ටිනාවේ ලයනල් මෙසීට පසු පසිනි. එසේ වූවද ලොව ධනවත්ම ක්‍රීඩකයා ලෙස මේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පසුකර යාමට ලයනල් මෙසීට තියා අනෙකුත් සුපිරි තරුවලට නොහැකි වී තිබේ. එසේ නම්, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලෝක පාපන්දු තරුව, ලෝකයේ ධනවත්ම චරිතයක් වූයේ කෙසේද? ඉරිදා ලංකාදීපය ගෙන එන ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය වෙනුවෙන් අද අප විස්තර කරන්නේ, මෙම අසාහාය ක්‍රීඩකයාගේ ව්‍යාපාර ගැනය.
මේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, ලොව ධනවත්ම පාපන්දු ක්‍රීඩකයා බවට පත්ව සිටින්නේ, පාපන්දු පිටියෙන් හම්බ කරන මහා ධනස්කන්ධයට වඩා වූ ධනයක්, වෙළෙඳ දැන්වීම් වලට පෙනී සිටිමින්, සහ ඔහු සතු ව්‍යාපාර මගින් උපයන නිසාය. ඒ අතරින් සමහර ව්‍යාපාර ඔහුගේ තනි අයිතියට අයත් ඒවාය. තවත් ව්‍යාපාර හවුල් ව්‍යාපාර ලෙස පවත්වාගෙන යන ඒවාය. එසේ නම් ඒ ව්‍යාපාර මොනවාද? ඒ ගැන දැන ගැනීමට පෙර අපි මේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගැන විස්තර දැන ගනිමු.
ඔබට මතකද පසුගියදා ඔහු පෙනී සිටි රූපවාහිනී වැඩසටහනකදී ලෝ ප්‍රකට ‘කොකාකෝලා’ නාමය ඔහු විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා, කොකා කෝලා සමාගමට සිදුවූ පාඩුව කොකාකෝලා බීම හොඳ නැතැයි ඔහු පැවසූ නිසා මිලියන ගණනක ජනතාවක් රොනාල්ඩෝ අනුගමනය කරමින් කොකා කෝලා බීම අත්හැරීම හේතුවෙන් කෝලා සමාගමට එලෙසින් මිලියන ගණනක පාඩුවක් සිදුවිණැයි පුවත් පළවිණි. මේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලෝකයේ කෙතරම් නම් ජනප්‍රිය තරුවක්ද යන්න මැන ගැනීමට ඒ හොඳටෝම ප්රමාණවත්ය. ඕනෑ නම් කොකා කෝලා වෙෙළඳ ප්‍රචාරණ සහ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් ඔහුට ඩොලර් මිලියන ගණනක ගිවිසුමකට එක්වීමට ඉඩ තිබිණි. එහෙත් ක්‍රිස්ටියානෝ රොනාල්ඩො හෙවත් ‘සීආර්7’ (CR-7) යනු ප්‍රතිපත්ති මත කටයුතු කරන සුපිරි තරුවකි. වතාවක අපි ඉරිදා ලංකාදීපයෙහි ඔහුගේ ජීවිතය ගැන සටහනක් පළ කළෙමු. අද ඉන් එහාට ගිය රොනාල්ඩෝ හෙවත් ‘CR-7’ ගේ ව්‍යවසායක ජීවිතය මොනවගේද කියා බලමු.
‘සී-ආර්’ ගේ සම්පූර්ණ නම වන්නේ, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඩස් සැන්ටෝස් ඇවෙයිරෝය. 1985 පෙබරවාරි 5 වැනිදා පෘතුගාලයේ දූපතක් වන මැඩෙයිරාහි ෆන්චාල් යනු මේ සුපිරි තරුව උපන් ස්ථානය වේ. හරියටම කිවහොත් සාවෝවේද්රෝ යනු ඔහු උපන් ස්ථානයට කියන නාමයයි. ජෝස් ඩිනීස් ඇවෙයිරෝ ක්‍රිස්ටියානෝගේ පියාය. මරියා ඩොලර්ස් ඩස් සැන්ටොස් ඔහුගේ මවය. ක්‍රිස්ටියානෝගේ පවුල එකල වත්පොහොසත්කම් තිබූ පවුලක් නොවීය. තාත්තා කටයුතු කළේ නගර සභාවේ උද්‍යානකරුවකු සහ පාපන්දු පිටියේ ආම්පන්න භාරව කටයුතු කළ පුද්ගලයකු ලෙසය. මව ඉවුම්- පිහුම් කටයුතු වලට දක්ෂ වූවාය. වැඩිමහල් පුතු සහ දියණියන් දෙදෙනකු ක්රිස්ටියානෝට පෙර පවුලට එක්ව සිටි අතර ක්‍රිස්ටියානෝ, පවුලට එක්වූයේ හතරවැනි හෙවත් පවුලේ බඩපිස්සා ලෙසය. එලෙසින් ඉපදීම එකතකට අරුමයකි. ඊට හේතුව නම් ක්‍රිස්ටියානෝගේ පවුල එකල දිවි ගෙවුවේ දැඩි ආර්ථික අපහසුතා මැද්දේය. ඒ මදිවාට ලැබූ සොච්චම ඔහුගේ පියා වියදම් කළේ බීමටය. බේබදුකමින් ඉහවහා ගිය සැමියාගෙන් තවත් දරුවකු පිළිසිඳ ගෙන ඇති බැව් දැනගත් මරියා දරුගැබ නැති කර ගන්නට උත්සාහ කළේ, දරිද්‍රතාවයෙන් පෙළීම නිසාමය. එහෙත් මේ දරුවා ලෝකයට අයිති නිසා ස්වභාවධර්මය එය වළක්වා ඇතැයි අපට විශ්වාස කළ හැකිය. පුංචි රොනාල්ඩෝ හට තාත්තා රොනාල්ඩෝ යන නම තැබුවේ එවකට ඇමෙරිකානු ජනාධිපතිවරයකුව සිටි රොනල්ඩ් රේගන් කෙරෙහි දැක්වූ ආසාව නිසාය.
එනම් රොනාල්ඩොගේ පියා, නළුවකුව සිටි රොනල්ඩ් රේගන්ගේ ප්‍රියතම රසිකයකු විය. රොනාල්ඩෝ යනුවෙන් නම් තැබීමට හේතුව ලෙස සඳහන් වන්නේ, ඒ හේතුවය. දරිද්‍රතාවයෙන් පෙළී සිටි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඇතුළු ඔහුගේ සහෝදරියන් දෙදෙනා සහ අයියා හට කුඩා කාලය ගත කිරීමට සිදුවූයේ, අඩු ආදායම්ලාභීන් සඳහා පල්ලියේ වෙන්ව තිබූ ස්ථානයක සිටය. එකල කෑම-බීම්-ඉදුම්-හිටුම් ලැබුණේ පල්ලියෙනි. එදා ඔහු ඇතුළු සහෝදරයා සහ සහෝදරියන් දෙදෙනා දිවි ගෙවුවේ එක් කාමරයකය. එය කාමරයක් කියනවාට වඩා පුංචිම කූඩුවක් යැයි සඳහන් කළ හැකිය. බේබදුකම තිබුණද තාත්තාගේ මග පෙන්වීම නිසා ‘සී.ආර්.’ පාපන්දු පිටියට අවතීර්ණ වූයේ වයස අවුරුදු 10ට පෙරදීය. ඉගෙනීමට එතරම් දක්ෂතා නොපෙන්වූ අතර, පංතියේ කට්ටි පැනීම වෙනුවෙන්, ගුරුතුමිය ක්‍රිස්ටියානෝගේ මව ගෙන්වා පුතුගේ නොසැලකිල්ල ගැන කීවාය. මේ සියල්ලට හේතුව හෘදයේ අසමාන්‍ය ස්පන්දනය නිසා යැයි ඔහුගේ මව්පියන්හට දැන ගන්නට ඉඩ ලැබිණි. ඉන්පසුව වයස 15 දී ක්‍රිස්ටියානෝ හට හෘද සැත්කමකට මුහුණ දීමට සිදුවූ අතර, එය සාර්ථක වූවා පමණක් නොව යළිත් පාපන්දු පිටියට ඇවිත්, වැඩ පෙන්වීමට ඔහුට අවස්ථාව උදාවිය.
වයස අවුරුදු 16 දී රටේ තරුවක් වූ ‘සී.ආර්.’ වයස අවුරුදු 18දී යුරෝපයේ ප්‍රකට පාපන්දු ක්‍රීඩා සමාජයකට එක්වූයේ ඩොලර් මිලියන 22කට ආසන්න ගිවිසුමකට අනුවය. ස්වකීය දිවිය රනින් සහ රන්කහවණු වෙතින් ස්වර්ණ-වර්ණ වෙන්නට පටන් ගත්තේ එතැන් සිටය. තවත් වසර දෙකක් ගිය පසු, ඉතාලියේ ජුවෙන්ටස් පිලට ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඔහු ගිවිසුම්ගත වූයේ ඩොලර් මිලියන 133ක මුදලකටය. මේ විදියට යුරෝපයේ මැන්චෙස්ටර් යුනයිටඩ්, රියල් මැඩ්රිඩ් හා කලින් කලට ගිවිසුම් ගතව ලැබූ මුදල ඩොලර් මිලියන ගණනින් ඔහුගේ වත්කම් වලට බැරවුණි. නමුත් ඊට වඩා මුදලක්, උපයන්නට ඔහුට හැකිවූයේ, ලෝ ප්‍රකට වෙළෙඳනාම යටතේ, ප්‍රචාරණ, ප්‍රවර්ධන දැන්වීම්වලට පෙනී සිටීම නිසාය. පාපන්දු පිටියේ ශූරයක වූ ‘සී.ආර්.’ නිරූපණයට සුදුසු වඩාත් හැඩකාරයකු වූයේ කඩවසම් පෙනුම නිසාමය. අඩි හයකුත් අඟල් දෙකක් උසැති වූ ‘සී.ආර්.’ හට ඇත්තේ හොලිවුඩ් නළුවකුට එහා ගිය පෙනුමකි.
‘සී.ආර්. 7’ වූ හැටි
ක්‍රිස්ටියානෝ රෝනාල්ඩෝ හට ‘CR7’ යන නාමය ලැබුණේ, මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම හා එක්වීමත් සමගය. පාපන්දු ක්‍රීඩාවේදී යම්කිසි කණ්ඩායමකට හෝ රටට ක්‍රීඩා කරද්දී ‘අංක 7’ පිළිගැනෙන්නේ වාසනාවන්ත අංකයක් ලෙසය. එමෙන්ම කණ්ඩායමේ දක්ෂතම ක්‍රීඩකයකු හට එම අංකය හිමිවේ. මැන්චෙස්ටර් යුනයිටඩ් හා එක්වීම සමග ‘අංක 7’ සඳහන් ජර්සිය ලැබුවේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝය. එතැන් සිට බොහෝ දෙනා ඔහු නම් කළේ ‘CR7’ යන කෙටි නාමයෙනි.
‘CR 7’ වෙළෙඳනාමය යටතේ ඇති ව්‍යාපාර.
‘සී-ආර් 7’ (CR7) යන කෙටි නාමය ක්‍රිස්ටියානෝ රෝනාල්ඩෝ හට කෙතරම් නම් ගැලපීද යත්, එය වෙළෙඳ නාමයක් බවට පත්විණි. ඉනික්බිතව ‘CR 7’ යටතේ, විලාසිතා ලෝකයට අනර්ඝ විලාසිතා පෙළක් හඳුන්වාදීමට මේ සුපිරි ක්‍රීඩකයා හට හැකිවිය. ඒ යටතේ යට ඇඳුම් විලාසිතා, සපත්තු, ජීන්ස් (කලිසම්), පිරිමි අත්බෑග්, කොලෝන් ආදී නිෂ්පාදන ඇතුළත්ය. ‘CR 7’ ඩෙනිම් ජීන්ස් සඳහා ඇති ඉල්ලුම ඉතා ඉහළය. ‘CR 7’ බ්ලැන්කට් නිපදවන්නේ ‘ඩෙනාලි’ නාමය සමග ඒකාබද්ධ විලාසිතා නිෂ්පාදනයක් ලෙසය. බ්‍රිතාන්‍යයේ බ්‍රිටිෂ් විලවුන් සමාගම හා එක් වූ ඊඩන් ෆර්ෆියුම් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ෆ්රැග්රාන්ස් නමින් එළි දැක්වූ ‘විලවුන්’ වලට ඇත්තේද ඉහළ ඉල්ලුමකි.
‘CR 7’ අවන්හල්
‘සී.ආර්. 7’ අවන්හල් ක්ෂේත්රය අවතීර්ණ වූයේ ලෝ ප්‍රකට ටෙනිස් ශූර- රෆායෙල් නඩාල්, ලෝ ප්‍රකට දැල්පන්දු ක්‍රීඩක පාවෝ ගැසොල් සහ ලෝ ප්‍රකට ගායකයකු වන එන්රික් (ඉග්ලේෂියස්) සමග එක්ව Grupo Mable Capital සමාගම බිහි කිරීමත් සමගය. ඒ යටතේ සේලා (Zela) නමින් ස්පාඤ්ඤයේ lbiza හි සහ ලන්ඩනයේ අවන්හල් ස්ථාපිත කර තිබේ.
ශාරීරික යෝග්‍යතා ස්ථාන
CR 7 නාමය යටතේ 2016 දී ක්‍රන්ච් ෆිට්නස් හා එක්ව ‘CR 7 ක්‍රන්ච් ෆිට්නස්’ නමින් ශාරීරික යෝග්‍යතා ක්‍රියාකාරකම් සඳහා ස්ථානයක් ස්ථාපිත කළ අතර, ඔහුගේ අරමුණ එම ‘ෆිට්නස් සෙන්ටර්ස්’ ශාඛා ජාලයක් ලෙස ව්‍යාප්ත කිරීමය. කොහොමටත් ‘මැඩ්රිඩ්’ නගරයේදී මෙම ස්ථානයට ඇත්තේ විශාල ඉල්ලුමකි.
පෞද්ගලික ගුවන්යානා
2017 දී ගල්ෆ්ස්ට්‍රීම් (Gulfstream) නමින් ජෙට් යානයක් මිලදී ගත්තේ ඩොලර් මිලියන 20ක මුදලකටය. එය අහසේ පාවෙන මාළිගයක් බඳුය. තමාගේ පෞද්ගලික පරිහරණය සඳහා එය මිලදී ගත්තද ‘CR’ එය ගමන්යාම සඳහා නිතර භාවිත නොකරන නිසා, ධනකුවේරයින් සඳහා සංචාර යාම පිණිස කුලී පදනමට ලබා දීමට සැලැස්වීය. එයින් විශාල ආදායම් ලබන බවද සඳහන් වේ.
කේශාලංකරණය සඳහා චිකිත්සාගාරයක්
‘CR 7’ හෙවත් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තම පෙම්වතිය වන ජෝර්ජියානා රොඩ්රිගුස් හට සුපිරි කේෂාලංකරණ චිකිත්සාගාරයක් පෘතුගාලයේදී ස්ථාපිත කර දුන්නේය. Insparya fucuses නම් වූ එහි ශාඛා කීපයක් තිබේ.
ලබන ආදායම්වලට අනුව බදු ගෙවීම් පැහැර හරින ලදැයි යන්න විටෙක ඔහුට එලල් වූ චෝදනාය. ඒ කෙසේ වෙතත්, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ යනු අත දිග හැර සමාජ සත්කාර සඳහා මුදල් පරිත්‍යාග කරන පරාර්ථකාමී චරිතයකි. ළමා ලෝකයේ බොහෝ කටයුතු සඳහා විශාල ලෙස මුදල් පරිත්‍යාග කරන තරුවකි.
පවුල් ජීවිතයට කැමති CR
වත්මන් ලෝකයේ ඕනෑම අංශයකදී සුපිරි තරුවක ලෙස පස්වැනියට පොහොසත් ස්ථානයේ පසුවන CR හෙවත් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ යනු පවුල් ජීවිතයට වඩාත් කැමති චරිතයක් වග සඳහන් වේ. ඔහුගේ පෙම්වතිය, නැතහොත් විවාහ නොවූවද ඔහු එකට දිවි ගෙවන්නේ, සුරූපී ජෝර්ජියානා රොඩ්රිගුස් සමගය. දරුවන් 4 දෙනෙකුට මේ දෙදෙනා හිමිකාරීත්වය දරයි. කනිෂ්ඨ රොනාල්ඩෝ හෙවත් CR ගේ පුංචි පුතුද තාත්තා මෙන් පාපන්දු ක්‍රීඩාවට දක්ෂයකු වග දැනටමත් ඔප්පු කර හමාරය.
Great 👍
ReplyDelete❤
ReplyDelete