යසෝදරා දේවිය
අද ගවේෂා තුළින් බෞද්ධ සාහිත්‍යයේත්, සිංහල සාහිත්‍යයේත් විශිෂ්ඨතම කාන්තා චරිතය ලෙස සළකන යසෝදරා දේවිය පිලිබඳව සටහනක් තැබීමට සිතුනි. යසෝදරා දේවිය මා දුටු ලොව විශිෂ්ඨතම කාන්තා චරිතය ලෙස සඳහන් කළොත් එය නිවැරදි ය. යසෝදරා පෙරදිග කාන්තාවගේ පරමාදර්ශයයි. බිරිඳක මවක ලෙස සිංහළ සාහිත්‍යයේ සහ බෞද්ධ සාහිත්‍යයේ හමුවන විශිෂ්ඨතම කාන්තා සළකුණ ඇයයි. ආදරය, විරහව, ඇතුළු සියළු දුක්ඛ සංතාපයන් සඳහා ජීවිතයට ගත හැකි හොඳම නිදසුන යසෝදරාවන්ගේ චරිතයයි. යසෝදරාවන් පිළිබඳව මහායාන බුදු දහම තුළ සහ ථේරවාදී බුදු දහම තුළ පවතින්නේ මත දෙකක් වුවදමා මෙහිදි සඳහන් කරන්නේ ථෙරවාදි බුදු දහමේ හමුවන යසෝදරාවෝ පිලිබඳවයි.
සුප්‍රබුද්ද රජුගේ දියණිය යසෝදරා:
සිදුහත් කුමරුගේ අග බිසව; යසෝදරා දේවිය , රාහුල මාතා, බිම්බා දේවි, භද්දකච්චායනා කුමරි, සහ ගෝපා යන නම් වලින් බෞද්ධ සාහිත්‍යයේ හැඳින්වූවා ය. ඇය සුප්‍රබුද්ද රජුගේ දියණියයි. සිදුහත් කුමරුට සොළොස් වියේදී විවාහයක් කර දීමට කල්යල් එළඹි විට සුද්දෝදන රජු විසින් සිදුහත් කුමරුගේ අදහස් විමසා බැලීය. ඒ මොහොතේ කුමරු විසින් විවාහ වීමට තෝරා ගන්නා කාන්තාව විසින් සපුරාලිය යුතු කරුණු රැසක් ඉදිරිපත් කර තිබුණ බව අසිරිමත් බුදු සිරිතෙහි විස්තර වේ. සිදුහත් කුමරු සමග විවාහ වීමට නම්,
01. උසස් වංශයෙන් හා කුල පරපුරෙන් යුක්ත වීම සහ උසස් නව යොවුන් තරුණ
වියෙන්ද රූ සපුවෙන් මෙන් ම විශේෂ ගුණ සමුදායෙන්ද යුක්තවීම
02. රූමත් වුවද තම රූ සපුව ගැන ආඩම්බර නොවිම.
03. ඇගේ මව හා සොහොයුරියන් ජීවත්ව සිටීම.
04. සත්‍යවාදී බව, මුදිතාව, පරිත්‍යාගශීලී බව සහ සුපරීක්ෂාව යන ගුණාංගයන්ගෙන්
සමන් වීම.
05. අපකීර්තිය, සදොස් බව, නපුරු බව, අහංකාරය හා අනුන්ගේ යසස නො ඉවසීම
ආදී අවගුණ ඇය තුළ නො තිබීම.
ආදී අවගුණ ඇය තුළ නො තිබීම.
06. උඩඟුකම මෙන්ම නිවට පහත් බවද ඇය තුළ නො තිබීම.
07. දිවිහිමියෙන් පතිවත රැකිය යුතු අතර සිහිනෙන්වත් අන් තැනැත්තෙකු නො පැතීම.
08. පසිඳුරන් පිනවීමෙහි ඇබ්බැහි නොවිම.
09. ලද දෙයින් සතුටු විය හැකි කෙනෙකු වීම.
10. අනුන්ගෙන් ඉල්ලිමට පුරුදු නොවීම.
11. නැටුම්, ගැයුම් , වැයුම්, බැලිම යෑම පුරුද්දක් නොවීම.
12. සිත කය වචනය පිරිසිදුව ආගමික වතාවත් වල යෙදීම.
13. සිය බාල සොහොයුරා සහ නැන්දණිය කෙරෙහි තම යුතුකම් ඉටු කිරිම.
14. හිතවතුනට හිතවත්බවත්, දැසි දසුනට ප්‍රසන්න බව දැක්වීම.
15. සැමියාට පසුව නින්දට යාම සහ සැමියාට පළමුව අවදි විම.
16. මවක මෙන් ගෘහ පාලන කටයුතු කිරිම.
17. නොයෙකුත් ශිල්ප ශාස්ත්‍ර හදාරා තිබීම.
18. ලේඛන කලාව මෙන්ම කාව්‍ය කරණයෙහි දක්ෂ වීම
සිදුහත් කුමරු මෙවැනි කරුණු බිරිඳකගෙන් අපේක්ෂා කරන ලද්දේ විවාහ විමට අකමැත්තෙන් සිටි නිසා බව සැලකිය හැකි බව බෞද්ධ සාහිත්‍යය පෙනවා දෙයි. තවද ඒ සියළු ලක්ෂණවලින් හෙබි කාන්තාවක සිටිය නොහැකි යැයි සිදුහත් කුමරු අපේක්ෂා කරන්නට ඇති බව ද බෞද්ධ සාහිත්‍යයේ සදහන් වේ. ඒ නිසා සිදුහත් කුමරුගේ විවාහය සුද්දෝධන රජු විසින් අමතක කරනු ඇතැයි බලාපොරොත්තු වූ බවද එහි සඳහන් වේ. අනෙක් අතට බෞද්ධ කාන්තාවක සතුව ඒ ගුණය පවතී යන්න එකළ ඉන්දීය සමාජය තුළ තිබෙන්නට ඇති බව මට සිතේ.
සිදුහත් කුමරුගේ ස්වයංවරය
ඉහත දකුවන ලද සුදුසුකම් ඇති කුමරියක සොයා ගැනීමට සුද්දෝධන රජතුමා කටයුතු කළේය. ඒ අතරම රාජ දූතයන් යවා කුමරියක සෙවීය. මේ සඳහා රජු විසින් ස්වයංවර උත්සවයක්ද පිළියෙල කලේය. එසේ ඉදිරිපත් වූ කිඹුල්වත් පුර ශාක්‍ය කමරියන් නියමිත දිනයේදී මගුල් උයනට පැමිණෙන ලෙස නියෝග කර තිබූ බවත්, එසේ පැමිණෙන කුමරියන් හට සිදුහත් කුමරු අතින් තෑගි පිරිනමන බවද ප්‍රසිද්ධ කරන ලදි.
ඒ අනුව ස්වයංවර උත්සවය සඳහා පැමිණි ශාක්‍ය කුල කුමරියෝ ස්වර්ණාභරණයෙන් සැරසී දහස් ගණනින් මගුල් උයනට රැස් වූ බවත්, එහි දී සිදුහත් කුමරු විසින් ඒ සියළු කුමරියන්ට අගනා තෑගි පිරිනැමූ බවත් බෞද්ධ ඉතිහාසයේ දැක්වේ.
එහෙත් අවසානයට පැමිණි කුමරියට දීමට තෑග්ගක් ඉතිරි නොවූයෙන් සිදුහත් කුමරු තම ගෙළ බැඳිරන් පඳනාව ගලවා කුමරිය කර පැළඳ වූ අතර, සිදුහත් කුමරු තම ඇඟිල්ලෙහි වූ මුදුවද ගලවා කුමරියගේ ඇඟිල්ලේ පැළඳුවේය. ඒ සිදුහත් කුමරුගේ සහ යසෝදරාවන්ගේ සංසාරික ආදරයේත් බැඳීමේත් පළමු හමුවීමයි.
සිදුහත් කුමරුගේ ශිල්ප දැක්වීම
යසෝදරාවන් කෙරෙහි සිදුහත් කුමරු දැක්වූ ඒ විශේෂත්වය නිසා සැළකිලිමත් වූ සුදොවුන් රජු සුප්පබුද්ධ රජුගේ දියණිය විවාහ කර දීමට යෝජනාකර දූතයන් යැවූ අතර සිදුහත් කුමරු ශිල්ප නොදත් අයෙකු ලෙස සැළකිම නිසා එම ඉල්ලීම ප්‍රතික්ෂේප විය. මේ නිසා රජු වහා ශිල්ප සංදර්ශනයක් සූදානම් කළ අතර ඒ සඳහා ශාක්‍ය කුමාරවරු පන්සියයක් සහභාගී වූ බව ද දැක්වේ. මේ අවස්ථාවේදී අනෙක් කුමාරවරු අතරින් සිදුහත් කුමරු විශේෂ ශිල්ප දැක් වූයෙන් යසෝදරාවෝ සිදුහත් කුමරු හට සරණ පාවා දෙන ලද බව සඳහන් වේ.
මේ ආකාරයෙන් යසෝදරාවෝ දීර්ඝ සංසාර චාරිකාව පුරාත්, අවසන් ආත්ම භවයෙහි සිදුහත් කුමරුගේ අග බිසව ලෙසත් තම සෙනෙහබර ස්වාමියා කෙරෙහි දැක් වූයේ අප්‍රමාණ පති භක්තියකි.
සිදුහත් කුමරු ගිහිගෙය හැර ගොස් කෙස් කපා තවුස් වෙසින් පැවිදිව කසා වත පොරවා සිටින බව ඇසූ යසෝදරාවෝ ද සිය දිගු කෙස් කළඹ කපා සිනිඳු කසී පට පිළි හරදා රළු පට පිලී හැන්දාය.
තවුස් වෙසින් සිදුහත් කුමරු එක් වේලක් වළඳන බව ඇසූ ඕ තොමෝ රාත්‍රී ආහාරය නො ගෙන සිටියාය. එතෙක් වැළඳූ රන් තැටි අත හැර රළු මැටි
බඳුනක සිය ආහාරය ගත්තා ය. සිදුහත් තවුසාණෝ මල්මාල නො පළඳින බව අසා ඇයද මල් නො පැළඳුවාය. සුවඳ විලවුන් ගැල්වීම ඉවත දැමුවාය.
සිදුහත් කුමරු ගිහිගෙයින් නික්ම ගිය පසු ඇයගේ රූ සපුව දුටු ශාක්‍ය කුමාරවරු විවාහ යෝජනා එවූ නමුත් ඔවුනට වචනයකින් පවා කිසිවක් නො කියා ගිහිගෙයි තනිවම වාසය කළා ය.
සත් වසකට පසුව බුදු හිමියන්ට හමුවූ යසෝදරාවෝ..
රාහුල කුමරු උපන් දිනයේ සිදුහත් කුමරු ගිහිගෙයින් නික්ම ගිය පසු ඇය නැවත් සිදුහතුන් දුටුවේ මහාභිනිෂ්ක්‍රමණයට හත් වසරකට පසුව බුදු රජනානන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරා ගෙයින් ගෙට පිඬු සිඟා වඩින ගමනේදී ය.
යසෝදරාවන්ගේ ගෙට බුදුරදුන් වැඩම කළ මොහොතේ ඇය ගෙවුණු වසර හත පුරා විඳි විරහ දුක් කියමින් බුදුහිමියන්ගේ දෙපා අල්වාගෙන බොහෝ වේලාවක් ඉකි බිඳිමින් හඬා වැලපුණා ය.
බොහෝ දුර අනේක ජාති සංසාරේ පටන් තමන් වහන්සේ සමග සසරෙහි එක්ව පැමිණි යසෝදරාවෝ තමන් වහන්සේට විවිධ ආත්ම භවයන්හි දී උපකාර වූ අයුරු සිහිකළ බුදුන් වහන්සේ යසෝදරාවන්ට ඇයගේ දුක නිවෙන තෙක් හඬා වැළපෙන්නට ඉඩ දී නිහඬවම වැඩ සිට ඇයගේ සිතෙහි උපන් දුක සහ ශෝකය නිවි යන සේ චන්ද කින්නර ජාතකය දේශනා කළහ.
බුදුහිමියන් චන්ද කින්නර ජාතකය තුළින් දුටු යසෝදරා..
බුදුහිමියන් එක් සංසාරයක යසෝදරාවන් සමග ලේන කුලේ සිට සසර පුරා සැරිසරමින් අන්තිම භවය තෙක් පැමිණි අයුරු ඡන්ද කින්නර ජාතකය මගින් ගෙන හැර දැක් වූහ. එහිදී දශරථ ජාතකයෙහි රාමා සහ සීතා නමින් විවාහව පතිවෘත්තාව ආරක්ෂා කළ සැටි විස්තර කළහ.
ඒසේම චුල්ලසුතසෝම ජාතකයෙහි සුතසෝම රජුගේ චන්ද්‍රා දේවිය ලෙසත්, මහාජනක ජාතකයෙහි මහාජනක රජුගේ සීවලී දේවිය ලෙසත්, දිවි ගෙවූ අතර, ඛණ්ඩහාල ජාතකයෙහි චන්දු කුමරු මරා යාගයක් කිරිමට සූදානම් වූ මොහොතේ චන්ද්‍රා දේවිය ලෙසින් බෝසතුන්ගේ දිවි ගලවා ගත් ආකාරයත් දැක් වූහ. සිවි ජාතකයෙහි ස්වර්ණාකර දේවිය ලෙසද, මනෝජ ජාතකයෙහි සිංහ ධේනුව ලෙසද, ආදිත්‍ය ජාතකයෙහි සමුද්‍ර විජයා ලෙසද, පැමිණි සංසාර ගමනෙහි චන්ද කින්නර ජාතකයෙහි චන්ද කින්නරී ලෙස බෝසතුන්ගේ දිවි ගලවාගත් අකාරය සඳහන් වේ.
මේ අයුරින් කුස ජාතකයෙහි පබාවතිය ලෙසද, උම්මග්ග ජාතකයෙහි අමරා දේවිය ලෙසද, වෙස්සන්තර ජාතකයෙහි මන්ද්‍රි දේවිය ලෙසද උපත ලැබූයේ යසෝදරාවන් ම ය.
යසෝදරා ස්ථිවිරියන් පිරිනිවනට වැඩමවීම
යසෝදරා ආපදානයෙහි විස්තර වන ආකාරයට රාහුල මාතාවෝ දිගු සංසාර චක්‍රයෙහි විවිධ අවස්ථාවන්හිදී බෝසතුන්ගේ දිවි ගලවා ගනිමින් සහ ආරක්ෂා කරමින් අවසන් ආත්ම භවය දක්වා පැමිණ බුදුහිමියන් ඉදිරියෙහි පැවිදිව සැත්තෑ අටවන වියෙහි එක් දිනක අලුයම් වේලෙහි බුදු රදුන් සහ යසෝදරා රහත් ස්ථිවිරියන් වහන්සේද එකම දිනයේ පරිනිර්වාණයට වැඩම වන බව යසෝදරාවෝ දිවැසින් දුටුහ.
යසෝදරාවෝ එයින් මිහිතලය මහත් කම්පාවක් වනු ඇතැයි සිතා බුදුන් වහන්සේගේ පරිනිර්වාණයට දෙවසරකට පෙර නිවන් මගට පිවිසීමට තීරණය කර එදිනම ඒ පරිනිර්වාණ දිනයේද අවසන් වරට බුදුන් පා කමල වැඳ සසර පුරා වූ ගමන් මගෙහි තමන් අතින් යම් වරදක් සිදු වූයේ නම් එම සියළු වරදට පව් කමා කර දෙන ලෙස බුදුහිමියන්ගෙන් ඉල්ලා සිටි බවත්, ඒ මොහොත වන විටත් ඇය සියළු කෙළෙසුන් නසා සිත දියුණු කර රහත්ව ඇති බව දිවැසින් දුටු බුදු රදුන් යසෝදරා රහත් ස්ථවිරියන්ගේ ඉල්ලීම වස් සියලු පව් කමා කළහ. අනතුරුව බුදු හිමියන්ගේ ඉල්ලිම පිට මුළු මහත් කාන්තා සමූහයාට ආදර්ශයක් වන සේ යසෝදරාවන්ගේ ප්‍රාතිහාර්යය දක්වන ලෙස ඉල්ලා සිටි බවත් අනතුරුව යසෝදරාවෝ බුදු හිමියන් සහ අසූහාරදහසක් රහතුන් වහන්සේලා ඉදිරියේ සෘද්ධීන් දක්වා එදින රාත්‍රියෙහි පරිනිර්වාණයට පත් බවත් යසෝදරා ආපදානයෙහි සඳහන් වේ.
මේ තරම් දිගු කාලයක් සසරෙහි යසෝදරාවන් තුල තිබූ අප්‍රමාණ පති භක්තිය ද, ඇයගේ අධිෂ්ඨානශීලී බවද, සිල්වත් බවද, කැපවීමද, මෙහිදි වැදගත් වේ.
නූතන සමාජයේ කාන්තාව සහ යසෝදරා චරිතය:
ආසියානු සමාජය තුළ කාන්තාව දුවක , බිරිඳක, මවක, සොහොයුරියක ලෙසින් සිය යුතුකම් ඉටු කිරිමේ විශිෂ්ඨ ආදර්ශය යසෝදරාවන්ගේ පරමාදර්ශී චරිතයෙන් ලැබි ඇත. තම රූප ශෝභාවට වඩා යසෝදරාවන්ගේ චරිතය ආදර්ශය ජිවිතයට සම්බන්ධ කර උදාර මාතෘත්වයට පිවිසෙන නූතන කාන්තා පරපුර සමස්ථයක් ලෙස ගත් කල්හි යසෝදරාවන්ගේ ආදරයේ පරමාදර්ශය මිනිස් සමාජයට විශිෂ්ඨ ආදර්ශයක් සපයයි. එහෙයින්ම ආසියාතික සියළු කාන්තාවෝ ආදරයේ පරමාදර්ශය වූ යසෝදරාවන්ම යැයි මට සිතේ. ෴
මේ සටහන ලිවීමේදී පහත සඳහන් කෘති මූලාශ්‍ර කරගන්නා ලදි.
01. බුද්ධ චරිතය - මහාචාර්ය සුචරිත ගම්ලත්,
02. යසෝදරාපදානය (ආපදාන පාලි )
03. යසෝදරාවත ( සිංහල ජන කවියේ මූලාශ්‍ර )
04. යසෝදරා ආපදානය සහ යසෝදරාවත - පූජ්‍ය මීගොඩ පඤ්ඤාලෝක හිමි
💜️💜️
ReplyDelete