ජනවහර
මානවයා අන්‍ය සත්වයන්ගෙන් වෙනස්වන ප‍්‍රධාන ලක්ෂණ අතර සන්නිවේදනයෙහිලා යොදාගන්නා භාෂාවට හිමින්නේ සුවිශේෂි ස්ථානයකි. මානව භාෂාව ප‍්‍රධාන වශයෙන් භාෂණය හා ලේඛනය ලෙස ප‍්‍රධාන කොටස් දෙකකට බෙදාදක්වා ඇත. එහිදී අක්ෂර මගින් සිදුකරන සන්නිවේදය ලේඛනය ලෙස හදුන්වන අතර ශබ්ද මගින් කෙරෙන සන්නිවේදනය භාෂණය ලෙස හැදින්වේ. කිසියම් භාෂා සමාජයක් පිළිබදව කරනු ලබන අධ්‍යනයකදී භාෂණය වැදගත් බව වාග් විද්‍යාඥයින්ගේ මතයයි. භාෂණ මාධ්‍ය ලේඛන මාධ්‍යට වඩා පැරණිවීම මීට හේතුවයි.
භාෂණ මාධ්‍යයෙහිලා භාවිත කරන භාෂා ස්වරූපය හසුරවනු ලබන්නේ විධිමත් අධ්‍යාපනයකින් නොවේ. භාෂණය, ලේඛනය තරම් විධිමත් නොවුන ද බස හසුරුවන කිසියම් නීති රීතී පද්ධතියක් ව්‍යාකරණයක් ද එහි දැකිය හැකිය. ග‍්‍රන්ථාරූඪ භාෂාව මෙන්ම පොදු ජනතාව අතර ප‍්‍රචලිත බොහෝ ප‍්‍රාදේශික ව්‍යවහාර කිසියම් රටා සමුදායකට අනුව ගොඩනැගුණු අර්ථයෙන් යුත් වහරක් බව ප‍්‍රාදේශීය ව්‍යවහාර අධ්‍යනයේ දී සනාථ වේ. භාෂණය හෙවත් කටවහර අවස්ථානුකූූලව පරිසරය අනුව වෙනස්වනු දැකිය හැකිය. මේ හේතුව නිසා ජනවහර අධ්‍යනයේදී හුදෙක් භාෂණය පිළිබද අධ්‍යනයක් පමණක් නොව ප‍්‍රාදේශීය විවිධතා, සමාජ ස්ථර, ආර්ථික හා සංස්කෘතික රාමුවට අනුව ප‍්‍රදේශයට සීමා වූ ව්‍යවහාර ප‍්‍රභේද උත්පාදනය වී තිබේ.
ජනවහර ලෙස සැලකෙන්නේ, විධිමත් ව්‍යාකරණ නීතිරීති මගින් මෙහෙයවන විධිමත් අධ්‍යාපනයක් නොලැබූ පොදු ජනතාව අතර නිරායාසයෙන් භාවිතවන භාෂාවයි. එහිදී විධිමත් අධ්‍යාපනයක් නොලත් යනු, නූගත් පිරිසක් නොව, ඔවුන් තමාලද අත්්දැකීම් තුළින් පරිණත බුද්ධියකින් හෙබි පිරිසක් වේ. ජනවහරේ වුවද විවිධ වෙනස්කම් පවතී. නිදසුනක් ලෙස ගතහොත් ප‍්‍රදේශයක ජනවහර තවත් ප‍්‍රදේශයක ජනවහරට වඩා සුළු හෝ සැලකිය හැකි වෙනස්කම් පවතී. ඒ ඒ සමාජයක සමාජීය පැවැත්ම හා සංස්කෘතික ලක්ෂණ සුරක්ෂිත කරගැනීමට උපකාරීවන මූලික සන්නිවේදන විධික‍්‍රමය වන්නේ එහි ජනවහර මගිනි.
ජනවහර තුළ විවිධ ප‍්‍රබේදයන් පවතී. ඒ අතර ගැමි වහර හා පුර වහර ලෙස ද වර්ග වේ. ජනවහර හැදෑරීම සන්නිවේදන විෂයේ දී ඉතා වැදගත්වන්නේ ඒ තුළින් ජන කණ්ඩායම්වල විශේෂතාවන් හදුනාගත හැකි බැවිනි. ජනවහර සකස් වී ඇත්තේත් එය ඔපමට්ටම් වී ඇත්තේත් ජන ජීවිතයෙන් උකහාගත් අත්දැකීම් ඇසුරිනි.
ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට ඒ ඒ උත්සව අවස්ථා, ජීවන වෘතීන් හා ඥාති සබදතා අනුව ඔවුනට ආවේණික ජනවහරක් දක්නට ලැබේ. ඒ අනුව මේ පිළිබද අවධානය යොමු කිරීමේ දී මා උපන් ගම් ප‍්‍රදේශය තුළ ද සිය ජීවනෝපායන්වලදී භාවිතවන අපූරු භාෂා භාවිතයක් පවතී. එසේනම්, ඒ පිළිබදව සොයා බැලීමක් කිරීම මෙහි අරමුණයි.
රාජාංගනය ගම් ප‍්‍රදේශය
උතුරුමැද පළාතේ, අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ඇති සුන්දර ගම් ප‍්‍රදේශයක් ලෙස රාජාංගනය හැදින්විය හැකිය. මෙම ගම්මානයට එකී නාමය ලැබීමට මූලික වූ හේතුව ලෙස, පැරැණ්නන්ගේ විශ්වාසය නම්, ”ඉපැරණි රජ මිදුල පිහිටි භූමිය මෙය වීමය”ි. රාජ + අංගනය, හෙවත් රජ මිදුල පසු කාලීනව රාජාංගනය වූ බව පැරැණ්නන්ගේ මතයයි.
ඇළදොළ, වැව් අමුණු, පන්සල් වලින් අලංකෘත වූ රාජාංගනය සම්පූර්ණයෙන් ම ගොවි පින් බිමක් බව නොපැකිලිව හා ගෞරවයෙන් ආඩම්බරයෙන් පැවසිය හැකිය. බැලූ බැලූ සෑම දිශාවකම පන්සලක් නෙත ගැටෙන එකම පින් බිම මෙය ම බව කිව හැකිය. කුඩා දරුවන් පීනමින් කෙළිදෙළෙන් ක‍්‍රීඩාවේ යෙදෙන දසුන් මෙහි සුලබය. රටට බත සපයන රජරට ප‍්‍රධාන ගම්පියසක් ලෙස මෙය හැදින්විය හැකි ය. ගොයමින් පිරුණු කෙත්වතු හා සිය ?කියාවේ යෙදෙන ගොවි ජනතාව නිතරම ඇස ගැටෙන සුන්දර දසුනකි.
වී වගාව මූලික කරගත් කෘෂිකාර්මික ජීවනෝපායකට උරුමකම් කියන මගේ ගම ස්භාවික ආපදාවලට අඩුවෙන් ම මුහුණදෙන පින්බිමකි. එයත් එක් හේතුවක් කරගනිමින් රටේ විවිධ ප‍්‍රදේශවල වෙසෙන්නන් සිය උපන්බිම් අතහැර රාජාංගනයට පැමිණ එය සිය ගම බවට පත්කරමින් ගොවිතැන හා බැදී සිය ජීවිකාව ගෙනයයි. මෙලෙස විවිධ ප‍්‍රදේශයන්ගෙන් පැමිණුන පුද්ගලයන් සිටිය ද තම පරම්පරාව මේ බිමේ ම ගෙනියන බහුතරයක් පිරිස මෙහි සිටී.
ඒ කෙසේ නමුදු, මෙහි සිය ජීවනෝපාය ගෙනයාමේ දී හා උත්සව අවස්ථාවලදී ද ඔවුන් භාවිතයට ගන්නා භාෂාව සුවිශේෂි වේ. ඒ තුළ කුඩා දරුවාගේ පටන් ම මෙහි ජනවහරට අනුගත වීම ස්භාවිකව සිදුවන්නකි. එසේ නම්, ඒ ඒ අවස්ථාවලදී රාජාංගනය ගම් පියස තුළ සිය ජනවහර හසුරවන ආකාරය පිළිබද අවධානය යොමු කිරීම වටී.
කෘෂිකර්මාන්තය
x වී ගොවිතැන
ගැමි ජන ජීවිතය තුළ කෘෂිකර්මාන්තය ප‍්‍රධාන ජීවනෝපායයි. සිය අඹුදරුවන්ගේ ජීවිත රැකගැනීමට ඇති එකම මාර්ගය මෙයයි. එහිදී, රාජාංගනය ප‍්‍රදේ්ශයේ වී ගොවිතැන හා හේන් ගොවිතැනට විශේෂ වේ. ඒ අතරින් වී ගොවිතැන මූලිකත්වය උසුලයි. කුඹුර හා කමත මූලික කරගත්, දේශීය ජන ජීවිතය හා කෙතෙන් උපන් හැදියාවක් අප ජන ජීවිතය තුළ ගැබ් වී ඇත.
කුඹුරක් අස්වද්දා එහි බැත වී බිස්සේ, අටුවේ තැන්පත් කරන තෙක් වී ගොවිතැන ආශ‍්‍රිත සුවිශේෂි වූ හා සුවිශාල වූ සංස්කෘතියක් හා භාෂා භාවිතයක් ඇතුළත් වේ. කෙතක් අස්වැද්දීම හෙවත් බිම් සකස් කිරීම කල යුත්තේ එකම කාල පරාසයක දී ය. බිම්හීය / බිම්නැගුම / පුරන් හීය හෙවත් මුල්හීය ,එනම් පළමුව සීසෑම හා දෙහීය හෙවත් මඩහීය, එනම් දෙවනුව සීසෑමයි. ඉන් අනතුරුව කෙරෙන වප්හීය හා වැපිරීම සිදුවන්නේ කෙත් යාය පූජනීය ස්ථානයක් සේ සලකා බොහෝ ගරුසරු ඇතිවය.
එසේම, මෙහිදී ගොයම් නෙළීම ලෙස හදුන්වනුයේ, වැපිරීමෙන් පසු පැළපත හෙවත් කුඩා ගොයම් පැළ වැඞී නොතිබෙන ස්ථානවල අනෙක් තැනින් පැළ ගැලවීම හා සිටවීමයි. මෙකී අවස්ථා සදහා නෙළුම් කයිය ද ගොයම් කැපීම, ගොයම් කයිය ලෙස ද හදුන්වනු ලැබේ. මීට අමතරව, අත්තම ද මේ හා සම්බන්දව ක‍්‍රියාවට නංවන්නකි. අත්තම් ක‍්‍රමය යනු, ශ‍්‍රමය හුවමාරු කරගැනීමයි. මෙය වර්තමානයේදීත් සිදුකෙරෙන ක‍්‍රියාවලියකි. කැපූ ගොයම් බැද ඒවා කලවිටට ගෙන ගොස් ගොයම් කොළ ගැසිය යුතුය. මෙහිදී කරනු කලවිට යනු කමතයි. කමතට ගෙන ආ ගොයම් කන්දක් ලෙස ගොඩ ගැසීම හඳුන්වනුයේ ගොයම් කොළ ලෙසයි.
මීට අමතරව, අගහස් වෙන්කිරීම හෙවත් අක්යාල වෙන්කිරීම ලෙස හදුන්වනු ලබන්නේ, ගොයම් කැපීම සිදුකිරීමට පෙර කුඹුරෙන් ලබා ගන්නා පළමු ගොයම් පිඩයි. අස්වැන්න ගෙට ගැනීමෙන් අනතුරුව එය ඉඳුල් කිරීමට පෙර කිරි ආහාර / කිරිහැර ලෙස නම්කරන කිරිපිඩු සකසා ජය ශ්‍රී මහා බෝධියට පුද දීම සිදුකෙරේ. මෙය අලූත් සහල් මංගල්‍යය ලෙස ද හඳුන්වයි. අනතුරුව ඝණ දෙවියන් උදෙසා කිරි ඉතිරීම සිදුකෙරේ.
කිරි ආහාර පූජා කිරීමෙන් අනතුරුව රාජාංගනය ගම් ප‍්‍රදේශයේ සිදුකරන ඉතා සුවිශේෂි වූ සිරිතක් වශයෙන් ඝන දෙවියන් උදෙසා කිරි ඉතිරිවීම හෙවත් මුට්ටි මංගල්‍යය පෙන්වාදිය හැකිය. ගම්බාර දෙවියන් ලෙස මෙහි හදුන්වන ඝන දෙවියන් මූලික කරගනිමින් සිදුකරන මෙම සිරිත, අලූත් සහල් ආහාරයට ගැනිමට අවසර පතන්නක් ලෙසට මෙහි විශ්වාසයයි.
මේ ආකාරයට වූ පූර්ණ ක‍්‍රියාවලිය තුළ තවත් බොහෝමයක් අපූරු භාෂා භාවිතයන් රැසක් පවතී. එහිදී කන්නය වගා කිරීමට මංගල දියවර හැරවීම, වප්පැන යනුවෙන් ව්‍යවහාර කෙරේ. වැපිරීමේ දී ඉසීමට ගන්නා වී හඳුන්වනුයේ, බිත්තර වී ලෙසයි. එය සැකසීමට වී පෙගවීම, වී දියේ දැමීම ලෙස ගොවියා ව්‍යවහාර කරයි. වී යහන් කිරීම හෙවත් පැළවීමට ගොඩ ගැසීම සිදුකරන අතර මුල් ඇදුණු වී ඉසීමට සුදුසු ලෙස සකස් කිරීම, වී අත්ලැසීම ලෙස හඳුන්වයි. එසේම කෙතේ මංගල බීජ රෝපණය, පුරවැඩුම ලෙස නම්කෙරේ. එලෙස ම ගොයම් පැළපතෙන් පසු කොළ මහත්වීම පිළිබද අපේ ගොවියා පවසනුයේ, ගොයම් බණ්ඩිවීම ලෙසයි. එසේම ගොයම් ගසෙන් කරල් මතුවීම, ගොයම් පීදීම වනඅතර කරල් සරුවට පිරීඒම හඳුන්වනුයේ, ගොයම් කිරිවැදීම ලෙසයි. මීට අමතරව, දැතිගොයියා ලෙස පවසනුයේ, ගොයම් කොළ ඇවිස්සීමට ගන්නා අගින් කරුවක් සහිත දණ්ඩකි. එකවර පාගනු ලබන ගොයම් ප‍්‍රමාණයට මෙහි ජනයා පවසනුයේ, පාවරය ලෙසයි. ගොයම් කැපූපසු කුඹුරේ ඉතිරිවන කොටස, ඉපනැල්ල වශයෙන් නම් කෙරේ.
මීට අමතරව තවත් බොහෝ වාග් මාලාවන් වී ගොවිතැන තුළ ව්‍යවහාර කරනු ලබයි. ඒ පිළිබද පහත පරිදි සරලව ඉදිරිපත්කල හැකිය.
x මාගල , වී වේලීම සදහා යොදා ගන්නා මා පැදුර
x වෑදව , කමතේ දී ගනු ලබන කෑම
x කැට තැබීම , නියරේ වක්කඩට සමීපව තබා ඇති පස් පිඩල්ල
x උප්පිඩ , කපන ලද ගොයම් පිඩ
x මහප්පිඩ , දෑතින් අල්ලා ගතහැකි ගොයම් ප‍්‍රමාණය
x බෝලත්ත , කමත පිරිසිදු කිරීමට ගන්නා ඉදල
x අම්බරුවන් , ගවයින්
x පැල , කුඹුරේ සාදනලද තාවකාලික මඩුව
x මැල්ල , බොල් වී
x ඇඹුල , ආහාර
x බැත , වී
x යතුර , කුල්ල
x ලියන්නාව , දෑ කැත්ත්
x කාටුව , වී සමග මිශ‍්‍රවී ඇති රොඩු
x බෝමුරු ඇදීම , කමත සුද්ද කිරීම
x පූ ගානවා , කුල්ලෙන් පොලමින් සහල් හෝ වී වෙන් කිරීම
කුඹුරේ එක් ලියද්දක සිට අනෙක් ලියද්දට ජලය ගෙනයාමට කපන ලද කාණුව, වක්කඩ ලෙස හැදින්වේ. යම් හෙයකින් කුඹුරේ නියර කැඞීගිය තැනක් ඇති වූවිට එය හඳුන්වනුයේ, කවාඩුව නමිනි. වැපිරීමේ දී කුඹුර සමතලා කිරීම සිදුකරනුයේ, පෝරුගෑම මගිනි. එසේම, වැඩ ඉක්මන් කිරීම සදහා මෙහි ගොවියා භාවිත කරන්නේ, සේදෑරි කරනවා යන වචනයි. එසේම, කුඹුරු නොමැති පුද්ගලයන් අන් අයගේ කුඹුරු වැඩකර එකී කුඹුරු හිමියාට පොරොන්දු වූ වී කොටස ලබාදීම සිදුකෙරේ. එය හඳුන්වනුයේ, අඳ කුඹුරු කිරීම හෙවත් අඳේ දීමයි. ලබාගන්නා අස්වැන්නට ඵලදාව යැයිකීම සිදුකෙරේ.
කෘෂිකාර්මික කටයුතුවලදී භාවිතයට ගන්නා උපකරණ සදහා ද එහිදී සුවිශේෂ වූ වචන මාලාවක් භාවිතයට ගනුලබයි.
x ආම්පන්න , මෙවලම් හෙවත් උපකරණ
x උකුණුදැත්ත , පිදුරු එකතු කරන රිට
x අතලය , කුඩා කළය
x බුසල්භාගෙ , වී මැනීමට ගන්නා උපකරණය
x පෝරුව , මඩ තුනී කිරීමට ගන්නා මිටක් ගැසූ ලෑල්ල
x අත් මල්ල , පැල වී ඉහින පෙට්ටිය
x කොහොඹ පෝරුව , කමතේ ආරක්ෂාවට තබන යන්ත‍්‍රය
මේ ආකාරයට වී ගොවිතැන තුළ දී ගොවිජනතාව ඊට ආවේණික බස් වහර භාවිත කරයි. මෙහිදී ඔවුන් ඉතා ගෞරවයකින් හා උනන්දුවකින් යුතුව කටයුතු කිරීම සිදුකෙරේ.
x හේන් ගොවිතැන
රාජාංගනය ගම් ප‍්‍රදේශය තුළ වී ගොවිතැන මූලිකත්වය ගත්තද ඊට අමතරව හේන් ගොවිතැනේ ද නියැලෙන්නන් සිටී. කෘෂිකර්මාන්තය ජීවනෝපාය වූ මේ බිමේ බහුතරයක් මඩ කුඹුරුවන අතර ප‍්‍රදේශයේ එක් කොටසක හේන් ගොවිතැනට උචිත භුමිය ද පවතී. ඒ තුළ හේන් ගොවිතැනේ නියැලෙන්නන්, වී ගොවියාගේ මෙන්ම ඊට සුවිශේෂ වූ වාග් මාලාවක් භාවිතයට ගනු ලබයි. ඒවා පහත පරිදි පෙන්වාදිය හැකිය.
හේනක් කිරීමේ දී මුලින්ම ඊට සුදුසු බිම් කොටසක් තෝරාගැනීම සිදුකෙරේ. හේන් ගෙවඞීම ලෙස හේන් ගොවියා ව්‍යවහාර කරනුයේ එයයි. තෝරාගත් හේන, මුලින්ම පුළුස්සා කැළෑව ඉවත්කර ගනී. මෙලෙස අලූත පුළුස්සන ලද හේන, නවදැලි හේන ලෙස හදුන්වයි. මෙලෙස සකස්කරගත් හේනේ, ඉතිරි වූ ඉපල් එකතුකර නැවත ගිනි තැබීම හදුන්වනුයේ, මුලා ගැසිම ලෙසයි. එක් තැනකට තැබූ ගින්න විසුරුවා හැරීම සාමාන්‍යය ව්‍යවහාරයේ එලෙසම පවසුව ද මෙම ප‍්‍රදේශයේ එය හදුන්වනුයේ, ගිනි බෝ කරනවා ලෙසයි. මෙසේ සකස් කරගත් හේන, ආරක්ෂා කරගැනීම උදෙසා දැව කදන් හා දඩු යොදා ගනිමින් සකස් කරන වැට, දඩු වැට ලෙස ව්‍යවහාර කෙරේ. හේනක් කිරීමේ දී හේන් රැකීම ද සිදුකර යුතුය. ඒ සදහා මුර පැල හෙවත් ගස උඩ සකසන ලද පැලක ගොවියා පැල් රකී.
එසේම, හේන් ගොවිතැනේ දී යොදා ගන්නා උපකරණ වලට ඊට සුවිශෙෂි වූ වචන භාවිතයක් දක්නට ලැබේ. එහිදී, වල් කැපීමට යොදා ගන්නා කැත්ත, වල් කැත්ත වශයෙන් ව්‍යවහාර කෙරේ. එසේම හේන ගිනි තැබීමට පෙර එහි සිටින සතුන් පන්නා දැමීමට හේන් ගොවියා කෑ ගැසීම සිදුකෙරේ. එය හදුන්වනුයේ, ගිනි යාතිකාව ලෙසයි. ඒ හරහා සතුන් පළිස්සීියාවි යැයි සිතා ඔවුන් එම භුමියෙන් පන්නා දැමීමට මෙසේ සිදුකරයි. මෙලෙස, හේන් ගොවිතැන තුළ ද ගොවියා ඊට ආවේණික බස් වහරක් භාවිතයට ගනු ලැබේ. මෙහි විශේෂයෙන් ම කෘෂිකාර්මික ජීවිතය තුළ එයට ඇති ගරුත්වය නිසා මෙලෙස සුවිශේෂි වචන එහි ව්‍යවහාරයට එක්කර තිබේ.
පුරාණයේ පටන් එන දේශීය ජීවන වෘතීය වශයෙන් ක‍්‍රියාත්මක වූයේ කෘෂිකර්මාන්තයයි. නූතනයේදී කෘෂිකර්මය ජනතාවගෙන් ගිලිහී යාම ඇරඹීම සමස්ත ජනයාගේ ම අවාසනාවකි. සිය ජීවිතය රැකගන්නා මේ වෘතිය මේ වනවිටත් අප ගම් ප‍්‍රදේශයේ බහුතරයක් නියැලෙන අතර වර්තමාන රාජ්‍ය පාලනයේ අත්තනෝමතික ක‍්‍රියා නිසා සමස්ත ගොවිජනයාම කලකිරීමට පත්වී ඇත. මෙතෙක් දුරට පවත්වාගෙන ආ මෙම ගොවිබස හා සංස්කෘතිය අනාගතයටත් පැවතීමට දේශීය කෘෂිකර්මාන්තය නගා සිටුවීමට කටයුතු කලයුතු ය.
පෙරදිග ධාන්‍යාගාරය ලෙස විරුධාවලිය ලත් අප රට වර්තමානයේ සහල් අපනයනය කිරීම කාගේ වරදක් ද? මෙරට දේශීය සුන්දරත්වයට ඉවහල්වන කෘෂිකර්මාන්තය හා එහි අපූරු භාෂා ව්‍යවහාරය ඉදිරියටත් පවතින්නේනම් දේශීය සුන්දරත්වය ආරක්ෂා කරගැනීම පහසු කරුණකි.
මගේ ගම් ප‍්‍රදේශයේ ප‍්‍රධාන ජීවනෝපාය වූ කෘෂිකර්මාන්තයට අමතරව යම්තාක් දුරට පවත්වාගෙනයන තවත් කර්මාන්ත කීපයක් හා ඒ හරහා ඔවුන් භාවිත කරන ඊට අදාළ වූ බස් වහර පිළිබදව ද අවධානය යොමු කිරීම වැදගත් වේ.
x වඩු කර්මාන්තය
රාජාංගනය තුළ වඩු කර්මාන්තයට සුවිශේෂී ප‍්‍රසිද්ධියක් නොතිබුන ද සැලකිය යුතු අන්දමින් මෙම ක්ෂේත‍්‍රයහි ද ජනයා නියැලෙමින් සිටී. එසේ සිය රැකියාව සිදුකරන ප‍්‍රදේශවාසි පුදගලයකුවන රසික මහතාගෙන් ලබාගත් දත්තවලට අනුව එම කර්මාන්තය තුළ ඊට ආවේණික වාග්මාලාවක් පවතින බව පෙනේ.
එහිදි, කර්මාන්තය හා බැදුණු උපකරණ හා එහි ක‍්‍රියාකාරීත්වය පිළිබද අවධානය යොමු කිරීමේ දී තවමත් මෙම ප‍්‍රදේශයේ භාවිත කරන උපකරණයක් ලෙස පොලූ කියත පෙන්වාදිය හැකිය. එය ලීයක් හෝ ලෑල්ලක් ඉරා ගැනීමට භාවිත කරයි. එසේම, අත් කියත මගින් කුඩා ලීයක් හෝ ලෑල්ලක් ඉරා ගැනීම සිදුකෙරේ. කපා ගත් ලීය හෝ ලෑල්ල සුමට කිරීමට භාවිතයට ගනුයේ දිග යතුකැටයයි. එසේම, කැට යත්ත ද මේ සදහා ද භාවිතයට ගනී. එසේ ම, ලීයක පළලින් අඩු නියනෙන් කපන ලද කොටසක් සුමට කිරීමට, තට්ටු යත්ත උපයෝගී කරගනී. යොදා ගන්නා ලීයෙහි සෘජුකෝණීබව මෙන්ම සමතල බව බැලීම සිදුකරනු ලබන්නේ, මුලූමට්ටම මගිනි.
ලීයෙහි අදාළ කැටයම් කිරීම සදහා සමාන්තරව ඉරි ඇදගැනීම සිදුකරනු ලබනුයේ වරක්කලය ආදාරයෙනි. මෙයටම විශේෂ වූ නියනක් පවතින අතර එමගින් ලීය හාරා ගැනීම සිදුකෙරේ. එලෙස නියන භාවිත කරමින් හෑරීමට මිටියක් හැඩයට සකසන ලද අතකොළුව යොදාගැනේ. එලෙස ම ලීයෙහි අවශ්‍ය පරිදි සිදුරු විදගැනීම සිදුකරනුයේ බුරුමය හා තොරපනය යොදාගන්නා අතර ලීයෙහි ලොකු සිදුරක් විදගැනීමට භාවිත කරනුයේ, අවගාරයයි. සිය නිර්මාණය උදෙසා ලීය නොසෙල්වා අල්ලා ගැනීමට ද ඇතැම්විට සිදුවේ.
එහිදී ඊට කරාමය යොදා ගනී. මීට අමතරව, ආවුද මුවහත් කිරීම සදහා මෙහි වඩුකාර්මිකයින් යොදා ගනුයේ, ඇමරිගල හෙවත් දියගල හෙවත් හා තෙල්ගලයි.
මේ ආකාරයට වඩු කර්මාන්තයෙහි නියැලීමේ දී මෙම ප‍්‍රදේශයේ වඩුකාර්මිකයින් දැනට ද මෙම පැරණි හා පාරම්පරික උපකරණ භාවිතයට ගනී.
x පෙදෙරේරු කර්මාන්තය
රාජාංගනය ගම් ප‍්‍රදේශය තුළ පෙදෙරේරු කර්මාන්තයෙහි නියැලෙමින් සිය ජීවිකාව ගෙනයන පුද්ගලයින් කීපදෙනෙකු ම සිටී. එහිදී ඔවුන් සිය ක‍්‍රියාවන් සිදුකිරීමේ දී එකී රැකියාවට ආවේණික වාග් මාලාවක් භාවිත කරයි. මෙම රැකියාවෙහි නියැලෙන අප ප‍්‍රදේශයේ ප‍්‍රියන්ත මහතා විසින් ඔවුන් භාවිත කරන ඊට ආවේණික වචන පිළිබද දැනුවත් කිරීමක් සිදුකරන ලදි.
එහිදී, බිත්තියක් හෝ බැම්මක් බැදීමේ දී එහි සිරස් බව සමානව ඇත්දැයි දැගැනීමට ඔවුන් භාවිතයට ගනුයේ, ලබකැටයයි. එම ක‍්‍රියාවලිය හදුන්වන්නේ, ලබකිරීම ලෙසයි. එසේ බදින බැමි සමතලව පවතින්නේ ද යන්න බැලීම සදහාත් කපරාරු කිරීමේ දී ද එහි සමතල බව රැක ගැනීමටත් යොදා ගනුයේ, මට්ටම් ලීයයි. එසේම, බදාම බිත්තියේ තැවරීම ආදී කටයුතු සදහා මේසන් හැන්ද උපයෝගී කරගනී. එම ක‍්‍රියාව කපරාරු කිරීම නම් වේ. එලෙස ම, මෙකී ක‍්‍රියාවටත් කලරාරුව තදින් බිත්තියට ඇලීමටත්, හුණු කොලොප්පු තැවරීමටත් යොදා ගනුයේ, මනිස් ලෑල්ලයි. එසේම, සල්ලඩය යනු පෙදෙරේරු කර්මාන්තයේ දී අවශ්‍යය වැලි හලාගැනීමට භාවිත කරන උපකරණයයි.
මේ ආකාරයට මෙකී රැකියාව තුළ දී ඔවුන් ඔවුනට ආවේණික වූ වචන ව්‍යවහාර කරයි.
x කම්මල් කර්මාන්තය
ප‍්‍රධාන ජීවනෝපායක් ලෙස මෙය අප ප‍්‍රදේශයේ නොතිබුන ද කෘෂීකාර්මික ප‍්‍රදේශයක් හෙයින් මෙහි කම්මල් කීපයක් පවත්වා ගෙනයයි. එවැනි කම්මලක් තුළ ඔහු ව්‍යවහාර කරනලද අපූරු භාෂාව පහත ලෙස දැක්විය හැකිය.
එහිදී මයිනහම යනු මෙකී කර්මාන්තයේ දි ලිප ගිනිදැල්වීම සදහා අවශ්‍ය වාතය ලබා ගැනීමට භාවිත කරන්නක් ය. ආයුධය සකසා ගැනීමට අගුරු නිසි පරිදි සකස් කරගනුයේ අඟුරු කොක්ක ආධාරයෙනි. එහිදී ගිනියම් කරනලද යකඩ ඇල්ලීම සදහා යොදාගනුයේ, ඩැහි අඩුවයි. එහිදී යකඩයක් තැලීම සදහා තබා ගනුයේ කිණිහිරය වනඅතර යකඩ තැලීම සදහා මිටිය හා මිටියට වඩා විශාලව සකසනලද කුළුගෙඩිය භාවිතයට ගනී. එසේම යකඩ කපා ගනුයේ ඔවුන් යකඩ කටුවේ ආධාරයෙනි. ආයුධය සකසා ගැනීමේ දී එය දැඩිව අල්ලා ගැනීමට ද සිදු වේ. එයට උපයෝගී කරගනුයේ, දැඩි අඩුවයි. එසේම සකසන ලද ආයුධය මුවහත් කරනුයේ පීර මගිනි. මෙහිදි ආයුධයකට පන පෙවීම ලෙස හදුන්වනුයේ සකසාගත් ආයුධය ගිනියම් කරමින් නැවත ජලයේ පොගවමින් සිදුකරන ක‍්‍රියාවලියයි.
මේ ආකාරයට ප‍්‍රධාන ජීවනෝපායට අමතරව රාජාංගනය ගම් ප‍්‍රදේශයේ දී ඇතැම් පුද්ගලයන් පවත්වාගෙන යනු ලබන මෙකී කර්මාන්ත තුළ ද ඔවුන්නට ආවේණික වාග්මාලාවක් භාවිත කරනු පෙනේ. මේ ආකාරයට රාජාංගනය ජනපදය තුළ ජීවන වෘතිය හමුවේ පවතින සුවිශේෂි ජනවහර පිළිබද මෙලෙස අධ්‍යනය කලහැකිය.
මීට අමතරව මෙම ප‍්‍රදේශයේ පවතින තවත් අපූරු වාග් මාලාවක් කෙරෙහි අවධානය යොමු කිරීම වටී.
x දොළපිදේනිය , යකුන්ට පෙරේතයින්ට දෙන බත් ගොටුව
x පූගෑම , ළිප මෙලවීමේ දී කටින් පිඹීම
x දරණුව , වැල් වලින්, රෙදි වලින් හෝ දඩුවලින් භාජනයක් තැබිය හැකි පරිදි සකසන ආධාරකය
x හුම්මය , මෙයත් දරණුවට සමානකමක් දක්වයි. කළ ගෙඩියක් හෝ බර දෙයක් හිස මත තබාගෙන යාමේ දී එය රදවා ගැනීමට රෙදි වලින් සකසා ගන්නා ආධාරකයකි.
x හැදිගෑම , මෙහි අර්ථ දෙකක් පවතී.
භාජනයක දැමූ දෙයක් හොදින් කලවම් කිරීම.
නිරපරාදේ තමන්ට කරදරයක් කරන්නෙකුට,” ඕකා හැදිගෑවිලාම පල” ලෙස පවසයි.
x අඩල , පොල් බෑයකින් භාගයක් ගා ගත් පසු ඉතිරි කොටස
x බුම්මැඩියා , නිතරම නිදාගන්නා පුද්ගලයා
x එක්හාසුවක් නෑ , එකමුතුවක් නෑ
x ඉස්පාසුවක් නෑ , නිදහසක් නෑ
x සද්දයක් බද්දයක් නෑ , නිහඩයි
x හේමලයා , සෙවනැල්ල
x අප්පල්ලේ , ඇතිලිය
x හිරිකඩ , පොද වැස්ස
x අවලාද , නුගුණ
x ආලපාළුව , වගාවන්ට වූ හානිය
x හාවක් හූවක් නෑ , කසිම තොරතුරක් නෑ
x කුයිල , ගඳ
x මදාවියා , හැදියාවක් නොමැති පුද්ගලයා
මේ ආකාරයට බොහොමයක් වචන එදිනෙදා ව්‍යවහාරයේ දී ද භාවිතයට ගන්නා අතිර පුද්ගල නාමයන් කෙරෙහි අවධාරනය යොමු කිරීමේ දී, අම්මා, තාත්තා, අත්තා, අත්තම්මා යනාදී ලෙස සාමාන්‍ය පොදු ව්‍යවාහාරය භාවිතයට ගැනේ. එසේම, කුඩා දියණියන්ට ආමන්ත‍්‍රණය කරනුයේ, දෝණිී ලෙස ද විටෙක කෙලිපැටික්කි ලෙසද පවසයි. මෙහි කිරිදරුවන් යන්නට ව්‍යවහාර වන්නේ කිරිසප්පයා ලෙසයි. ද මෙම ප‍්‍රදේශයට විවිධ පළාත්වල පුද්ගලයන්ගේ පැමිණ පදිංචිවීම මත ඒ පුද්ගලයන්ගේ එදිනෙදා සාමාන්‍ය ව්‍යවහාරය තුළ පුද්ගල නාමයන් හා සත්ව නාමයන් හැදින්වීමේ දී ඔවුන් පෙර පදිංචි පළාත්වල ආභාෂය ද පවතින බව කිව යුතු ය. එහිදී, අප්පච්චි, අයියණ්ඩි, ආච්චිඅම්මා, සීයා තාත්තා... යනාදි වශයෙන් ඥාතීත්ව හැදින්වීමේ දී ව්‍යවහාර කරයි. එසේම, ලොකු අම්මාට බක් අම්මා ලෙසද පවසන ඇතමුන් මෙම ප‍්‍රදේශයේ සිටී.
මදාවියා යන වචනයේ පොදු අර්ථය බොහොමයක් දෙනාගේ මතය වන්නේ, රස්තියාදුකාර බේබදු පුද්ගලයන්ටය. නමුත් අප ප‍්‍රදේශය තුළ මදාවියා යන්නෙන් හදුන්වනුයේ, ප‍්‍රචණ්ඩකාරී පුද්ගලයන් ය. ”මූ නම් හෙන මදාවියෙක්” යනාදී වශයෙන් මෙහි පුද්ගලයින් පවසනු ඇසේ. එසේම, සංවරකමක් නොමැති නොහික්මුණු පුද්ගලයා හැදින්වීමට මෙහි භාවිත වනුයේ, නොසංඩාලයා ලෙසයි. මීට අමතරව, නම්වනම් කීම යනනෙහි සාමාන්‍ය අරුත වන්නේ පෙළපත් නාමය පැවසිමයි. නමුත් මෙම ප‍්‍රදේශය තුළදී ගැමි ජනයා නම්වනම්කීම යන්නෙන් අදහස් කරනුයේ, විවිධ නම් වලින් බැන වැදීමයි. එසේම, ඕපෙ කියනවා ලෙස මෙහි වැඩි වශයෙන් ව්‍යවහාර වනඅතර එමගින් අදහස් වනුයේ, ඕප¥ප කීමයි. උඩගෙඩි දෙනවා යන්නෙහි පොදු අර්ථය රැවැට්ටීම උවත් මෙහිදී එය භාවිතවනුයේ, ඇවිලෙන ගින්නට පිදුරු දානවා යන අරුත ගෙනදෙන රණ්ඩුවකදී තවතවත් ඇවිස්සීමයි. එසේම, ගාලි කියනවා ලෙස මෙහි ව්‍යවහාර කරනුයේ, යම් දෙයක් පිළිබද අඩුපාඩු සොයසොයා රණ්ඩුවට පැමිණීමයි. මීට අමතරව, හදිස්සිය හෝ කලබලය හැදින්වීමට මෙහි පවසනුයේ, දඩිබිඩියේ යන්නයි. ”කොහෙද යකෝ මේ දඩිබිඩියේ දුවන්නේ” ලෙස මෙහි පොඩි දරුවන් සිටින නිවෙස්වල නිතරම අසන්නට ලැබෙන දෙයකි. තැන්පත් නොවන කාන්තාවන් හෝ බොරු සෝබන පෙන්වන තරුණියන්ට මෙම ප‍්‍රදේශයේ දී පවසනුයේ, මසිමායම්කාරි ලෙසයි. අනවශ්‍ය ලෙස කියවීම හා දෙඞීම පිළිබදව මෙහි මැදිවියේ පුද්ගලයන් පවසනුයේ, කංකරච්චලේ ලෙසයි. එසේම, තරුණ පිරිමි ළමයි, ගැහැණු ළමයින් දෙස බැල්ම දැමීම පිළිබදව මෙහි ව්‍යවහාර කරනුයේ, හොර ඇහැ දානවා ලෙසයි.
මේ අකාරයට සාමාන්‍යය පොදුවහර තුළ දී භාවිතයට ගන්නා වචන වලදී ඇතැම්විට වෙනත් පැතිවල එකී වචනයන්ගේ එන අර්ථයන්ට වඩා වෙනස් වූ අර්ථයන් මෙම ප‍්‍රදේශය තුළ ජනතාව අතර ව්‍යවහාර වේ. එසේම, ඇතැම්විට ශබ්ද නැගීමෙහි ඇති විවිධත්වයක් ද අන් ප‍්‍රදේශයට සාපේක්ෂව මෙහි ද පවතී. එනම්, එන්න, එන්ඩ, එනවකෝ, එන්නකෝ, එනෝ යනාදී වශයෙන් එකම වචනය, ශබ්දය වෙනස් කරමින් කතා කරන අයුරු මෙම ප‍්‍රදේශයේ පවතින්නට මූලක හේතුව වන්නේ, වෙනත් ප‍්‍රදේශවලින් පැමිණ මෙහි පදිංචිවූ පුද්ගලයන් මගිනි.
ඒ කෙසේ නමුදු, ‘රාජාංගනය’ගම් ප‍්‍රදේශය මූලිකව ම කෘෂිකාර්මික භුමියක් වශයෙන් නම්දරන අතර ඊට අමතරව ඒ හා වක‍්‍රව බැදී පවතින සුළු ප‍්‍රමාණයේ අතුරු රැකියා ද ක‍්‍රියාත්මක වේ. එනම්, ගම තුළින් ම බිහි වූ පෙදරේරු කර්මාන්තය, වඩු කර්මාන්තය, කම්මල් කර්මාන්තය... යනාදී වශයෙන් සුළු රැකියාවන් ආරම්භ කරතිබේ. ඒ අනුව, ඒ ඒ රැකියාවට ආවේණිකව ඊට අනුව පවතින්නා වූ සුවිශේෂී බස්වහරක් මේවා තුළ අන්තර්ගත වී ඇති බවට මෙමගින් තහවුරු වේ.
මේ පිළිබද අධ්‍යයනය කිරීමේ දී මෙලෙස ඒ ඒ ජීවන වෘතීන් සදහා ඊට ම ආවේණික වූ බස් වහරක් නිර්මාණය වීමට මූලික වූයේ, ඒ රැකියාවට පවත්නා ගෞරවය නිසා බවයි. සිය ජීවිකාව රැකදෙන කර්මාන්ත අන් සියල්ලගෙන් ම සුවිශේෂි කොට දැක්වීම හේතුවෙන් මෙලෙස අපූර්ව බස්වහරක් නිර්මාණය වී ඇත.
ඒ අනුව, ප‍්‍රදේශීය වශයෙන් වෙනස්වන, ආර්ථික හා සංස්කෘතිකව ද විවිධතා දක්වන ජනවහර පිළිබද අධ්‍යයනය කිරීම හරහා ඒඒ ප‍්‍රදේශයන් හී පවතින ජීවනවෘතීන් හා බැදෙන අපූරු භාෂා භාවිතයන් පිළබද පැහැදිලි අවබෝධයක් ලබාගත හැකි අතර මේ හරහා අපේ අතීත උරුමයන් වැළලීමට හා නොදී ආරක්ෂා කරගැනීමට හැකිවනු ඇත.
එසේම, තම උපන් භුමියේ පවතින සුන්දරත්වය පිළිබද, වටිනාකම් පිළිබදව දැනහැදින ගැනීමට හා ඒවායේ පවතින නොදුටු මානයන් සොයා ගැනීමට මෙය වඩාත් ඉවහල් වේ.
Nirosha Sewwandi Rajarata University Of Sri Lanka (Mass Communication (Hons Degree)
No comments:
Post a Comment