Followers

Thursday, October 20, 2022

ආදරයේ උතුම් රත්නයයි ඈ

 

යසෝදරා දේවිය



අද ගවේෂා තුළින් බෞද්ධ සාහිත්‍යයේත්, සිංහල සාහිත්‍යයේත් විශිෂ්ඨතම කාන්තා චරිතය ලෙස සළකන යසෝදරා දේවිය පිලිබඳව සටහනක් තැබීමට සිතුනි. යසෝදරා දේවිය මා දුටු ලොව විශිෂ්ඨතම කාන්තා චරිතය ලෙස සඳහන් කළොත් එය නිවැරදි ය. යසෝදරා පෙරදිග  කාන්තාවගේ පරමාදර්ශයයි. බිරිඳක මවක ලෙස සිංහළ සාහිත්‍යයේ සහ බෞද්ධ සාහිත්‍යයේ හමුවන විශිෂ්ඨතම කාන්තා සළකුණ ඇයයි. ආදරය, විරහව, ඇතුළු සියළු දුක්ඛ සංතාපයන්  සඳහා ජීවිතයට ගත හැකි හොඳම නිදසුන යසෝදරාවන්ගේ චරිතයයි.  යසෝදරාවන් පිළිබඳව මහායාන බුදු දහම තුළ සහ ථේරවාදී බුදු දහම තුළ පවතින්නේ මත දෙකක් වුවදමා මෙහිදි සඳහන් කරන්නේ ථෙරවාදි බුදු දහමේ හමුවන යසෝදරාවෝ පිලිබඳවයි.

සුප්‍රබුද්ද රජුගේ දියණිය යසෝදරා: 

සිදුහත් කුමරුගේ අග බිසව; යසෝදරා දේවිය , රාහුල මාතා, බිම්බා දේවි, භද්දකච්චායනා කුමරි, සහ ගෝපා යන නම් වලින් බෞද්ධ සාහිත්‍යයේ හැඳින්වූවා ය. ඇය සුප්‍රබුද්ද රජුගේ දියණියයි. සිදුහත් කුමරුට සොළොස් වියේදී විවාහයක් කර දීමට කල්යල් එළඹි විට සුද්දෝදන රජු විසින් සිදුහත් කුමරුගේ අදහස් විමසා බැලීය. ඒ මොහොතේ කුමරු විසින් විවාහ වීමට තෝරා ගන්නා කාන්තාව විසින් සපුරාලිය යුතු කරුණු  රැසක්  ඉදිරිපත් කර තිබුණ බව අසිරිමත් බුදු සිරිතෙහි විස්තර වේ. සිදුහත් කුමරු සමග විවාහ වීමට නම්,

01.     උසස් වංශයෙන් හා කුල පරපුරෙන් යුක්ත වීම සහ උසස් නව යොවුන් තරුණ
          වියෙන්ද රූ සපුවෙන් මෙන් ම  විශේෂ ගුණ සමුදායෙන්ද යුක්තවීම

02.     රූමත් වුවද  තම රූ සපුව ගැන ආඩම්බර නොවිම.

03.     ඇගේ මව හා සොහොයුරියන් ජීවත්ව සිටීම.

04.     සත්‍යවාදී බව, මුදිතාව, පරිත්‍යාගශීලී බව  සහ සුපරීක්ෂාව යන ගුණාංගයන්ගෙන්   
           සමන් වීම.

05.     අපකීර්තිය, සදොස් බව, නපුරු බව, අහංකාරය හා අනුන්ගේ යසස නො ඉවසීම
          ආදී අවගුණ ඇය තුළ නො තිබීම.

06.     උඩඟුකම මෙන්ම නිවට පහත් බවද ඇය තුළ නො තිබීම.

07.     දිවිහිමියෙන් පතිවත රැකිය යුතු අතර සිහිනෙන්වත් අන් තැනැත්තෙකු නො පැතීම.  

08.     පසිඳුරන් පිනවීමෙහි ඇබ්බැහි නොවිම.

09.     ලද දෙයින් සතුටු විය හැකි කෙනෙකු වීම.

10.     අනුන්ගෙන් ඉල්ලිමට පුරුදු නොවීම.

11.     නැටුම්, ගැයුම් , වැයුම්, බැලිම යෑම පුරුද්දක් නොවීම.

12.     සිත කය වචනය පිරිසිදුව ආගමික වතාවත් වල යෙදීම.

13.     සිය බාල සොහොයුරා සහ නැන්දණිය කෙරෙහි තම යුතුකම් ඉටු කිරිම.

14.     හිතවතුනට හිතවත්බවත්, දැසි දසුනට ප්‍රසන්න බව දැක්වීම.

15.     සැමියාට පසුව නින්දට යාම  සහ සැමියාට පළමුව අවදි විම.

16.     මවක මෙන් ගෘහ පාලන කටයුතු කිරිම.

17.     නොයෙකුත් ශිල්ප ශාස්ත්‍ර හදාරා තිබීම.

18.     ලේඛන කලාව මෙන්ම කාව්‍ය කරණයෙහි දක්ෂ වීම  

සිදුහත් කුමරු මෙවැනි කරුණු බිරිඳකගෙන් අපේක්ෂා කරන ලද්දේ විවාහ විමට අකමැත්තෙන් සිටි නිසා බව සැලකිය හැකි බව බෞද්ධ සාහිත්‍යය පෙනවා දෙයි. තවද ඒ සියළු ලක්ෂණවලින් හෙබි කාන්තාවක සිටිය නොහැකි යැයි සිදුහත් කුමරු අපේක්ෂා කරන්නට ඇති බව ද බෞද්ධ සාහිත්‍යයේ සදහන් වේ. ඒ නිසා සිදුහත් කුමරුගේ විවාහය සුද්දෝධන රජු විසින් අමතක කරනු ඇතැයි බලාපොරොත්තු වූ බවද එහි සඳහන් වේ.  අනෙක් අතට බෞද්ධ කාන්තාවක සතුව ඒ ගුණය පවතී යන්න එකළ ඉන්දීය සමාජය තුළ තිබෙන්නට ඇති බව මට සිතේ.

සිදුහත් කුමරුගේ ස්වයංවරය

ඉහත දකුවන ලද සුදුසුකම් ඇති කුමරියක සොයා ගැනීමට සුද්දෝධන රජතුමා කටයුතු කළේය. ඒ අතරම රාජ දූතයන් යවා කුමරියක සෙවීය. මේ සඳහා රජු විසින් ස්වයංවර උත්සවයක්ද පිළියෙල කලේය. ‍එසේ  ඉදිරිපත් වූ කිඹුල්වත් පුර ශාක්‍ය කමරියන් නියමිත දිනයේදී මගුල් උයනට පැමිණෙන ලෙස නියෝග කර තිබූ බවත්, එසේ පැමිණෙන කුමරියන් හට සිදුහත් කුමරු අතින්  තෑගි පිරිනමන බවද ප්‍රසිද්ධ කරන ලදි.

ඒ අනුව ස්වයංවර උත්සවය සඳහා පැමිණි ශාක්‍ය කුල කුමරියෝ ස්වර්ණාභරණයෙන් සැරසී දහස් ගණනින් මගුල් උයනට රැස් වූ බවත්,  එහි දී සිදුහත් කුමරු විසින් ඒ සියළු කුමරියන්ට අගනා තෑගි පිරිනැමූ බවත් බෞද්ධ ඉතිහාසයේ දැක්වේ. 
එහෙත් අවසානයට පැමිණි කුමරියට දීමට තෑග්ගක් ඉතිරි නොවූයෙන් සිදුහත් කුමරු තම ගෙළ බැඳිරන් පඳනාව ගලවා කුමරිය කර පැළඳ වූ අතර, සිදුහත් කුමරු තම ඇඟිල්ලෙහි වූ මුදුවද ගලවා  කුමරියගේ ඇඟිල්ලේ පැළඳුවේය. ඒ සිදුහත් කුමරුගේ සහ යසෝදරාවන්ගේ සංසාරික ආදරයේත් බැඳීමේත් පළමු හමුවීමයි.

සිදුහත් කුමරුගේ ශිල්ප දැක්වීම

යසෝදරාවන් කෙරෙහි  සිදුහත් කුමරු දැක්වූ ඒ විශේෂත්වය නිසා සැළකිලිමත් වූ සුදොවුන් රජු සුප්පබුද්ධ රජුගේ දියණිය විවාහ කර දීමට යෝජනාකර දූතයන් යැවූ අතර  සිදුහත් කුමරු ශිල්ප නොදත් අයෙකු ලෙස සැළකිම නිසා එම ඉල්ලීම ප්‍රතික්ෂේප විය. මේ නිසා  රජු වහා ශිල්ප සංදර්ශනයක් සූදානම් කළ අතර ඒ සඳහා ශාක්‍ය කුමාරවරු පන්සියයක් සහභාගී වූ බව ද දැක්වේ. මේ අවස්ථාවේදී අනෙක් කුමාරවරු අතරින් සිදුහත් කුමරු විශේෂ ශිල්ප දැක් වූයෙන් යසෝදරාවෝ සිදුහත් කුමරු හට සරණ පාවා දෙන ලද බව සඳහන් වේ.

මේ ආකාරයෙන් යසෝදරාවෝ දීර්ඝ සංසාර චාරිකාව පුරාත්, අවසන් ආත්ම භවයෙහි සිදුහත් කුමරුගේ අග බිසව ලෙසත් තම සෙනෙහබර ස්වාමියා කෙරෙහි දැක් වූයේ අප්‍රමාණ පති භක්තියකි.

සිදුහත් කුමරු ගිහිගෙය හැර ගොස් කෙස් කපා තවුස් වෙසින් පැවිදිව කසා වත පොරවා සිටින බව ඇසූ යසෝදරාවෝ ද සිය දිගු කෙස් කළඹ කපා සිනිඳු කසී පට පිළි  හරදා රළු පට පිලී හැන්දාය.

තවුස් වෙසින් සිදුහත් කුමරු  එක් වේලක් වළඳන බව ඇසූ ඕ තොමෝ රාත්‍රී ආහාරය නො ගෙන සිටියාය. එතෙක් වැළඳූ රන් තැටි අත හැර රළු මැටි 
 බඳුනක සිය ආහාරය ගත්තා ය. සිදුහත් තවුසාණෝ මල්මාල නො පළඳින බව අසා ඇයද මල් නො පැළඳුවාය. සුවඳ විලවුන් ගැල්වීම  ඉවත දැමුවාය.

සිදුහත් කුමරු ගිහිගෙයින් නික්ම ගිය පසු ඇයගේ රූ සපුව දුටු  ශාක්‍ය කුමාරවරු විවාහ යෝජනා එවූ  නමුත් ඔවුනට වචනයකින් පවා කිසිවක් නො කියා ගිහිගෙයි තනිවම වාසය කළා ය.

සත් වසකට පසුව  බුදු හිමියන්ට හමුවූ යසෝදරාවෝ..
රාහුල කුමරු උපන් දිනයේ සිදුහත් කුමරු ගිහිගෙයින් නික්ම ගිය පසු ඇය නැවත් සිදුහතුන් දුටුවේ මහාභිනිෂ්ක්‍රමණයට  හත් වසරකට පසුව බුදු රජනානන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරා ගෙයින් ගෙට පිඬු සිඟා වඩින ගමනේදී ය.

සුද්දෝධන රජු බුදුරදුන් තම මාළිගයට වැඩමවා දන්දී යසෝදරාවන්ගේ ගුණ කියා ඇයගේ ගෙට වැඩම කරවිය. 

යසෝදරා‍වන්ගේ ගෙට බුදුරදුන් වැඩම කළ මොහොතේ  ඇය ගෙවුණු වසර හත පුරා විඳි විරහ දුක් කියමින් බුදුහිමියන්ගේ දෙපා අල්වාගෙන  බොහෝ වේලාවක් ඉකි බිඳිමින් හඬා වැලපුණා ය.

බොහෝ දුර  අනේක ජාති සංසාරේ පටන් තමන් වහන්සේ සමග සසරෙහි  එක්ව පැමිණි යසෝදරාවෝ තමන් වහන්සේට විවිධ ආත්ම භවයන්හි දී උපකාර වූ අයුරු සිහිකළ බුදුන් වහන්සේ  යසෝදරාවන්ට ඇයගේ දුක නිවෙන තෙක් හඬා වැළපෙන්නට ඉඩ දී නිහඬවම වැඩ සිට ඇයගේ සිතෙහි උපන් දුක සහ ශෝකය නිවි යන සේ චන්ද කින්නර ජාතකය දේශනා කළහ.

බුදුහිමියන් චන්ද කින්නර ජාතකය තුළින්  දුටු යසෝදරා..
බුදුහිමියන් එක් සංසාරයක යසෝදරාවන් සමග  ලේන කුලේ  සිට සසර පුරා සැරිසරමින් අන්තිම භවය තෙක් පැමිණි අයුරු ඡන්ද කින්නර ජාතකය මගින් ගෙන හැර දැක් වූහ. එහිදී දශරථ ජාතකයෙහි රාමා සහ  සීතා නමින් විවාහව පතිවෘත්තාව  ආරක්ෂා කළ සැටි විස්තර කළහ.

ඒසේම චුල්ලසුතසෝම ජාතකයෙහි සුතසෝම රජුගේ චන්ද්‍රා දේවිය ලෙසත්, මහාජනක ජාතකයෙහි මහාජනක රජුගේ සීවලී දේවිය ලෙසත්, දිවි ගෙවූ අතර, ඛණ්ඩහාල ජාතකයෙහි චන්දු කුමරු මරා යාගයක් කිරිමට සූදානම් වූ මොහො‍‍තේ චන්ද්‍රා දේවිය ලෙසින් බෝසතුන්ගේ දිවි ගලවා ගත් ආකාරයත් දැක් වූහ. සිවි ජාතකයෙහි ස්වර්ණාකර දේවිය ලෙසද, මනෝජ ජාතකයෙහි සිංහ ධේනුව ලෙසද, ආදිත්‍ය ජාතකයෙහි සමුද්‍ර විජයා ලෙසද,  පැමිණි සංසාර ගමනෙහි චන්ද කින්නර ජාතකයෙහි චන්ද කින්නරී ලෙස බෝසතුන්ගේ දිවි ගලවාගත්  අකාරය  සඳහන් වේ.

මේ අයුරින් කුස ජාතකයෙහි පබාවතිය ලෙසද, උම්මග්ග ජාතකයෙහි අමරා දේවිය ලෙසද, වෙස්සන්තර ජාතකයෙහි මන්ද්‍රි දේවිය ලෙසද උපත ලැබූයේ යසෝදරාවන් ම ය.
යසෝදරා ස්ථිවිරියන් පිරිනිවනට වැඩමවීම 

‍යසෝදරා ආපදානයෙහි විස්තර වන ආකාරයට  රාහුල මාතාවෝ දිගු සංසාර චක්‍රයෙහි විවිධ අවස්ථාවන්හිදී  බෝසතුන්ගේ දිවි ගලවා ගනිමින් සහ ආරක්ෂා කරමින් අවසන් ආත්ම භවය දක්වා පැමිණ බුදුහිමියන් ඉදිරියෙහි පැවිදිව සැත්තෑ අටවන වියෙහි  එක් දිනක අලුයම් වේලෙහි බුදු රදුන් සහ යසෝදරා රහත් ස්ථිවිරියන් වහන්සේද එකම දිනයේ පරිනිර්වාණයට වැඩම වන බව යසෝදරාවෝ දිවැසින් දුටුහ.

යසෝදරාවෝ එයින් මිහිතලය මහත් කම්පාවක් වනු ඇතැයි සිතා බුදුන් වහන්සේගේ පරිනිර්වාණයට දෙවසරකට පෙර නිවන් මගට පිවිසීමට තීරණය කර එදිනම ඒ  පරිනිර්වාණ දිනයේද අවසන් වරට බුදුන් පා කමල වැඳ සසර පුරා වූ ගමන් මගෙහි තමන්  අතින් යම් වරදක් සිදු වූයේ නම් එම සියළු වරදට පව් කමා කර දෙන ලෙස බුදුහිමියන්ගෙන් ඉල්ලා සිටි බවත්, ඒ මොහොත වන විටත් ඇය සියළු කෙළෙසුන් නසා සිත දියුණු කර රහත්ව ඇති බව දිවැසින් දුටු බුදු රදුන් යසෝදරා රහත් ස්ථවිරියන්ගේ  ඉල්ලීම වස් සියලු පව් කමා කළහ. අනතුරුව බුදු හිමියන්ගේ ඉල්ලිම පිට  මුළු මහත් කාන්තා සමූහයාට ආදර්ශයක් වන සේ යසෝදරාවන්ගේ ප්‍රාතිහාර්යය දක්වන ලෙස ඉල්ලා සිටි බවත් අනතුරුව යසෝදරාවෝ බුදු හිමියන් සහ අසූහාරදහසක් රහතුන් වහන්සේලා ඉදිරියේ   සෘද්ධීන් දක්වා එදින රාත්‍රියෙහි පරිනිර්වාණයට පත් බවත් යසෝදරා ආපදානයෙහි සඳහන් වේ.

මේ තරම් දිගු කාලයක් සසරෙහි යසෝදරාවන් තුල තිබූ අප්‍රමාණ පති භක්තිය ද,  ඇයගේ අධිෂ්ඨානශීලී බවද, සිල්වත් බවද, කැපවීමද, මෙහිදි වැදගත් වේ.

නූතන සමාජයේ කාන්තාව සහ යසෝදරා චරිතය:
ආසියානු  සමාජය තුළ කාන්තාව දුවක , බිරිඳක, මවක, සොහොයුරියක ලෙසින් සිය යුතුකම් ඉටු කිරිමේ විශිෂ්ඨ ආදර්ශය යසෝදරාවන්ගේ පරමාදර්ශී චරිතයෙන් ලැබි ඇත. තම රූප ශෝභාවට වඩා යසෝදරාවන්ගේ චරිතය ආදර්ශය ජිවිතයට සම්බන්ධ කර  උදාර මාතෘත්වයට  පිවිසෙන නූතන කාන්තා පරපුර සමස්ථයක් ලෙස ගත් කල්හි යසෝදරාවන්ගේ ආදරයේ පරමාදර්ශය  මිනිස් සමාජයට විශිෂ්ඨ ආදර්ශයක් සපයයි. එහෙයින්ම ආසියාතික සියළු කාන්තාවෝ ආදරයේ පරමාදර්ශය වූ යසෝදරාවන්ම යැයි මට සිතේ. ෴

මේ සටහන ලිවීමේදී  පහත සඳහන් කෘති මූලාශ්‍ර කරගන්නා ලදි.

01.     බුද්ධ චරිතය - මහාචාර්ය සුචරිත ගම්ලත්,
02.     යසෝදරාපදානය (ආපදාන පාලි )
03.     යසෝදරාවත ( සිංහල ජන කවියේ මූලාශ්‍ර )
04.     යසෝදරා ආපදානය සහ යසෝදරාවත - පූජ්‍ය මීගොඩ පඤ්ඤාලෝක හිමි

Wednesday, October 5, 2022

අපේ පැරණි සටන් කලාව

අපේ පැරණි සටන් කලාව 

 

අංගම්පොර
 අංගම් පොර සටන් කලාවේ ආරම්භය මීට අවුරුදු 33000 කට එපිට අතීතයට දිවයයි. හෙළයේ ජීවත්වෙච්ච යක්ෂ, නාග, දේව, රාක්ෂ යන ජනවර්ග පොදුවේ අසුරයන් (සුර අසුර යුද්ධයේදී) තමන්ට ඉන්දියාවෙන් එල්ලවන තර්ජනවලින් ආරක්ෂා වීම සඳහා මෙම සටන් ක‍්‍රමය භාවිත කරන්නට විය. ක‍්‍රමයෙන් වර්ධනය වූ අංගම් ශිල්පය තාරක රජු විසින් ස්කන්ධ කුමාරයාගේ ලංකා ආක‍්‍රමණයට එරෙහිව යොදාගන්නට ඇත.



අප සටන් කලාවේ ස්වර්ණමය යුගය ලෙස රාවණ යුගය හඳුනාගත හැකිය. රාවණ රජු නිල ශාස්ත‍්‍රය පිළිබඳ විශේෂඥයෙකි. ඒ බව එතුමා විසින් රචනය කරනු ලැබ ඇති වෛද්‍ය ග්‍රන්ථ තුළින්ද පැහැදිලි වෙයි. රාවණ සහ අංගම් ශාස්ත‍්‍රය අතර සම්බන්ධය කෙතරම් ප‍්‍රබලද කියතොත් අදටත් අංගම් ශිල්පීන් සටන් පුහුණු වන්නේ රාවණ නිරිදාණන් සිහිකිරීම සඳහා මල්පැලක් සකස් කොට රාවණ ස්තෝත‍්‍ර කියා ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුවයි. මෙසේ අවුරුදු දහස්ගණනක් තිස්සේ ක‍්‍රමයෙන් ගොඩනැගුණු පැරණි අංගම් සටන් කලාව සිංහලයාගේ රාජධානිය සතුරාගෙන් ආරක්ෂා කරන්නට උපරිමයෙන් දායක විය.





අංගම් යනුවෙන් හඳුන්වන්නේ ශරීරයයි. පොර කියන්නේ සටනයි. නිරායුධව (හිස්) සිරුරෙන් කරනු ලබන සටන අංගම්පොර යනුවෙන් හඳුන්වයි. ආයුධ සහිතව කරනු ලබන සටන ඉලංගම් ලෙස හඳුන්වනු ලබයි. අංගම් ශිල්පයේ ප‍්‍රවීණයකු වීම සඳහා මෙම කොටස් දෙකට අමතරව මායා අංගම් ලෙස හැඳින්වෙන ගුප්ත කොටසද ඉගෙනගත යුතු අතර සම්පූර්ණ අංගම් සටන් කලාව ඉගෙනගැනීමට එක් පුද්ගලයකුට තම ජීවිතකාලය මදිය. එසේ වන්නේ මෙම ශිල්පයේ ඇති තියුණු බව නිසාමය. මෙහිදී ඉතාවැදගත් වෙන්නේ නිල ශාස්ත‍්‍රය පිළිබඳ දැනුමයි. මෙම නිල කලාව අනෙක් සටන් ක‍්‍රමවලදී එතරම් සාර්ථක ලෙස භාවිත වන්නේ නැත. සිංහල සටන් ක‍්‍රමය අනුව නිලවලට පහරදෙන ක‍්‍රම රැසක් දැකගත හැකිය.

අංගම් සටන්කරුවා යනු මනා හික්මීමක්, ඉවසීමක් ප‍්‍රගුණ කළ අය වෙති. එය ඔහුට ලැබෙන්නේ බුදු දහම අතින්ය. අංගම් සටන්කරුවාගේ ශක්තිය පුදුම සහගතය. ඔහු තම ශක්තිය විදහාපෑම සඳහා විවිධ අභ්‍යාසවල නිරතවෙයි. හිසෙන් පොල් පැලීම, පොල් ගෙඩිය උඩවිසි කර දෙපළුවෙන්න පා පහර ගැසීම, ඇත් දළයක් පොලොවේ වළලා තනි අතින් ඇද ගැලවීම, පොලූ අට කැඞීම, කුළු හරක් මෙල්ල කිරීම, විශාල ගල්, ගස් කඳන් ඈතට විසි කිරීම, පොල් ගසට පයින් ගසා පොල් කැඞීම, පුවක් ගෙඩිය ඇඟිලි දෙකෙන් අල්ලා පොඩි කිරීම, මිනිසුන් දහ පහළොස් දෙනා සමග තනිව සටන් කිරීම, ඇස්, අතපය බැඳගෙන සටන් කිරීම ආදිය මොවුන් විසින් තම ශක්තිය විදහාපෑමට කරනු ලබයි.


යටත්විජිත තහනමට ලක්වීම


මේ අයුරින් සිංහලයාගේ සටන් කලාව අධිරාජ්‍යවාදීන් බියගැන්වූ නිසාම අංගම් සටන්කරුවන් විනාශකරන්නට විවිධ උපක‍්‍රම යොදා ඇත. 1818 දී ගැසට් නිවේදනයක් මගින් අංගම් සටන් ලංකාව පුරාම තහනම් කිරීමට බි‍්‍රතාන්‍යයන් පියවර ගත්තේය. එ නිසාම ක‍්‍රමයෙන් අංගම් පුහුණුව සිංහලයා වෙතින් ඈත් වන්නට විය. අංගම් සටන් මගින් ඈත්වන්නට අකමැති වූ සිංහලයන් වනගතව එය ආරක්ෂාකරගත් අතර මෙනිසා අදටත් එය සුරක්ෂිතව පවතී. සටන් පරපුරේ මුතුන් මිත්තන් තම මහත්තාආරච්චි පරම්පරා නාමය සමග ඇති සම්පූර්ණ නම අගට ”පෙරේරා” යනුවෙන් යොදා ගැනීමට සිදුවිය.








මර්දනය

ඉංග‍්‍රීසියෙන් රේඛා ක‍්‍රියාවලිය කෙතරම්ද කියතොත් එහි එක් අවස්ථාවක් ඉතිහාසයේ මෙසේ සඳහන් වේ. ”අවුරුද්දක් පමණ කාලය තුළ පැවති මේ කැරැුල්ලෙන් සිදුවූ අලාභ හානි මෙ පමණය කිව නොහැක. සිංහලයෝ 10000 කට වැඩි ගණනක් මිය ගියහ. මියගිය ඉන්ගිරිසි භටයන්ගේ නියමිත ගණනක් ඇති බවක් නොපෙනෙන නමුත් ලෙඩවී මඩකළපුවට ගෙනගිය 173 දෙනකුගෙන් 114 දෙනකුම මියගිය බව සඳහන් වේ. ඉන්දියාවෙන් ගෙන්වන ලද 7000 ක් භටයෝ කැරැුල්ලට සම්බන්ධ වූහ.”

සැබෑ සටන් ශිල්පීන් තවදුරටත් ඉතිරිව සිටින්නේද යන්න  ඕනෑම අයකුට නැගෙන ප‍්‍රශ්නයකි. අවුරුදු 300 කට ආසන්න කාලයක් පූර්ණ තහනමකට ලක්ව තිබූ මෙම ශිල්පය තහනම් යුගයේදී නීති විරෝධී ලෙස යටත්විජිත පාලනය විසින් තැන තැන මරා දැමූ සටන් ශිල්පීන්ගේ ඉතිහාසය ඇසූ වත්මන් සමාජය එවැනි තීරණයකට එළැඹීම පුදුමසහගත නොවේ. එසේ වුවද අදටත් නොනැසී මෙම ශාස්ත‍්‍රය පවත්වාගෙන පැමිණි පරම්පරාවන් රාශියක් ලංකාවේ සිටින බවට ලිඛිත හා ලිඛිත නොවන සාක්ෂි දක්නට ලැබේ. ඉතාමත්ම අප‍්‍රසිද්ධව මෙම කලාව පවත්වාගෙන එනු ලබන ශිල්පීය පරම්පරා බොහෝ විට අදටත් නර්තන සම්ප‍්‍රදා හා බද්ධව මෙය පවත්වාගෙන යයි. කෙසේ වෙතත් මේ වන විට ප‍්‍රසිද්ධියේ කරළියට පැමිණ ශාස්ත‍්‍රයේ අනාගතය වෙනුවෙන් පෙනී සිටින කොරතොට අංගම්පොර සටන්කරුවන් මෙහිදී අමතක කළ නොහැකිය.

කොරතොට අංගම්පොර සම්ප්‍රදාය

අදින් වසර 33000කට පමණ පෙර ලක්දෙරණේ ඉපිද සුරාසුර යුද්ධය ජයග‍්‍රහණයට මුල්වූ කතරගම මහසෙන් නම් සෙන්පතියාගෙන් පැවත එන්නේ යැයි සැලකෙන කොරතොට අංගම්කරුවෝ මෑත ඉතිහාසයේ දී මුල්ලේරියා සටනට මූලිකත්වය දී ගම්වර තානාන්තර ලත් ගෞරවාන්විත සම්ප‍්‍රදායකි. අදටත් ඔවුන් ඔවුන්ගේ සම්ප‍්‍රදාය රැුකගෙන නොනැසී පවත්වාගෙන යයි.
අංගම්පොර කලාවේ විවිධාකාර ආයුධ රාශියක් ඇති අතර ”එතුණු කඩුව” නම් වූ ආයුධ විශේෂ තැනක් ගනී. කසයක හැඩය ගත් මෙම ආයුධය තියුණු මුවහත් ඇති නම්‍යශීලී ලෝහ පළු 32 කින් යුක්ත වෙයි. අංගම්පොර සටන් කලාව හා බැඳුනු ආයුධ අතර සමූලඝාතන ආයුධයක් වන මෙය වඩා දියුණු හා සංකීර්ණ සටන් හරඹ සඳහා, දෑතට දෙකක් භාවිත කරයි. මෙම ආයුධ භාවිතයට ඉතාම ඉහළ පුහුණුවක් අවැසිය. මන්ද ප‍්‍රතිවාදියා හට එල්ල කරන පහරක් නියමාකාරයෙන් සිදුනොවුනහොත් එය තමන් හටද මාරාන්තික පහරක් විය හැකි බැවිනි. එබැවින් මෙම ආයුධය අත්දැකීම් ඇති ප‍්‍රවීන සටන් ශිල්පීන් භාවිත කරයි.
තවද අංගම් කලාව හා බැඳුනු තවත් ආයුධ අතර හෙළ කඩුවටද විශේෂ තැනක් හිමිවේ. මෙය අංගම්පොර ශිල්පියාට අනන්‍යය ලෙස නිර්මාණය කරනු ලබයි. සාමාන්‍යයෙන් කඩුවක දිග ශිල්පියාගේ අතෙහි දිගට සමාන වෙයි. පලිහ යනු කඩුව හා එක්ව භාවිත කරන තවත් ආයුධයකි.
ශ්‍රී ලාංකීය ජාතික උරුමයක් බඳු මෙම අංගම්පොර සටන් කලාව නැවත මෙරට ජනප‍්‍රිය කරවීමට, මුල් ගුරු පරම්පරාවල වර්තමාන සාමාජිකයන් දැඩි වෙහෙසක් ගනී. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප ඔවුන්ට කෘතඥ පූර්වකව ස්තුතිවන්ත විය යුතුය. තරුණ අංගම්පොර සටන් ශිල්පියකු වශයෙන් සිය උරුමය අනාගත පරපුරට දායාද කිරීම උදෙසා දැඩි කැපවීමකින් හා උත්සහයකින් තම චාරිත‍්‍ර වාරිත‍්‍ර ඇවතුම් පැවතුම් සියල්ල කැටි කොට ගනිමින් අජන්ත මහන්තාරච්චි මහතා කරන කැපවීම හෙට දිනයේ අපට ආවේණික වූ අංගම් ශිල්පයේ රැක ගැනීම වෙනුවෙන් උදාර මෙහෙවරක් වනු ඇත.







අංගම් හොරු

අංගම් හොරු යනු...

අංගම්පොර නැමැති උත්තරීතර සටන් ශිල්පය ඉතිහාසයේ කවරකමදාකවත් ක්‍රීඩාවක් නොවීය. එය රට, ජාතිය හා ආගම සමඟ ප්‍රතිබද්ධවූ ‍‍ගරු ගාම්භිර වූ පූජිත සම්ප්‍රදායකි. මෙය අද්‍යතනය වන තෙක්ම ඉතාමත් රහසිගතව පරදේශක්කාර‍යින්ගේ අනේකවිධ කෙනෙහිලිකම්වලට භාජනය වෙමින් පාරම්පරිකව ආරක්ෂා කර ගෙන පැමිණි අතර ඉතාමත් රහසිගත මට්ටමේ පැවතුනකි. මෑත කාලීන දඬුබස්නාමානය (අංගම්පොර සටන් ශිල්පය ගැන කියවෙන්නක් වුවද අංගම්පොර සටන් ශිල්පය භාවිතා නොවෙන ටෙලි නාට්‍යයකි) වැනි ටෙලි නිර්මාණ නිසා මේ රටේ අංගම්පොර ශිල්පය පිළිබඳව සමාජ කතිකාවතක් ගොඩ නැගෙන්නට පටන් ගත්තේ ය. නමුත් එයින් සැබෑ අංගම්පොර ශිල්පයට හෝ ශිල්පීන්ට වූ සුගතියක් නැත. එයින් සැබෑවටම සිදුවන්නේ මුදල් වෙනුවෙන් තම මාපියන් වුවද විකුණන, දකුණු ඉන්දියානු දෙමළ සටන් ශිල්ප හදාරන ලද්දවුන් කිහිපදෙනෙක් ඔවුන් අංගම්පොර ශිල්පීන් ලෙස ඉදිරිපත්වී, රූපවාහිණී හා වෙනත් මාධ්‍ය දඩයමක් සිදුකරමින් තම බඩවියත රැක ගැනීමට පටන්ගැනීම පමණි.




අංගම් හොරු හඳුනාගන්නේ කෙසේද?

අද සමාජයට තිබෙන බරපතල ගැටළුවක් වන්නේ මෙම අංගම්පොර ශිල්පීන් යයි කියා ගන්නා පුද්ගලයන් අතුරෙන් සැබෑ අංගම්පොර ශිල්පියා හදුනා ගන්නේ කෙසේද යන්නයි. ඒ සඳහා පහත සඳහන් කරුණු ලක්ෂණ මතින් සමාජයට තීරණය කළ හැකි යයි අප විශ්වාස කරමු.
සැ.යු.
මෙම කරුණු වලට අමතරව වෙනත් කරුණු තිබේනම් ඒවා අප වෙත ඉදිරිපත් කිරීමට මෙම ක්ෂේත්‍රය සම්බන්ධව විදග්ධ පරීක්ෂණයන් කළ අයට හෝ සාම්ප්‍රධායික ශිල්පීන්ට අප අවස්ථාව ලබා දෙන්නෙමු. විරෝධතා ද ඉවසනු ලැබේ.

· සාම්ප්‍රදායිකව පවත්වාගෙන ආ ගම්වර, නම්බුනාම, හා ඉතිහාස කෘතිවලින් (මහාවංශය, රාජාවලිය ආදී) ඔවුන් ලබාගෙන ඇති ඓතිහාසාත්මක සාක්ෂි නොමැති වීම.

· සිංහල බෞද්ධයින් හැර වෙනත් අයට මෙම ශාස්ත්‍රය ඉගැන්වීම හා වේලාපත්කඩ පරීක්ෂණයක් සිදු නොකිරීම.

· සමාජ සම්මත පහත් කුලවලින් පැවත එන පරම්පරාවක් වීම.(එවන් පිරිස්වලට ඉතිහාසයේදී මෙම ශාස්ත්‍රය උගන්වා නැති නිසා)

· වෙනත් සටන් ශාස්ත්‍රයක් ප්‍රගුණ කිර තිබීම.

· ඉතිහාසය පිළිබඳ ස්ථීර විඥානය නොමැතිවීම, පැරණි පොත පත අධ්‍යනය නොකිරීම, සිංහල භාෂා ඥානය නොමැතිවීම, පැරණි අධ්‍යාපන ක්‍රමයේ මූලිකාංග පිළිබඳ අනවබෝධය ආදි ලක්ෂණ.

· පරම්පරාවට ලැබී ඇති අවිආයුධ, පැරණි ලියකියවිලි, පුස්කොලපොත් ආදිය සතු නොවීම.

·අන්‍යාගමික්යින්ට හා පරදේසක්කාරයින්ට (විශේෂයෙන් යුරෝපියන්ට හා ද්‍රවිඩයන්ට   හා මුස්ලිම් ජාතිකයන්ට) මෙම ශාස්ත්‍රය ප්‍රගුණ කිරීම.

·රට, ජාතිය හා බෙෘද්ධාගම පිළිබඳ දැඩි බැඳීමක් නොපැවතීම හා සෘජුව සිංහල ජාතිය හා බෙෘද්ධ ආගම පිළිබඳව කතා කිරීමට බිය වීම හෝ එසේ කිරීමේ ආකල්පමය දැක්මක් නොමැතිවීම.

·හෙළ (යක්ෂ, දේව, නාග හා සිංහ ගෝත්‍රික) දේහ ලක්ෂණ සතුවීම නොවීම. මෙය හදුනාගැනීම ඉතා අසීරු වන  නමුත් මනා පෙෘර්ෂයක් නොමැතිවීම, සෘජුව කතා කිරීම නොකිරීම (දැඩි අවස්ථාවාදී වීම), මනා හික්මීමක් නොතිබීම, හරක්මස් අනුභව කිරීම, පන්සිල් ආරක්ෂා නොකිරීම, තේජාන්විත ලීලාවක් සතු නොවීම වැනි ලක්ෂණ
සැ.යු. හම කළු හෝ සුදු වීම දේහලක්ෂණයක් නොවේ

·මෙම සටන් ශාස්ත්‍රය ක්‍රීඩාවක් ලෙස සැලකීම හා එය පාරම්පරික සම්ප්‍රදායක් ලෙස නොසැලකීම.

·පෝස්ටර්, බැනර්, කටවුට් හා වෙනත් මාධ්‍ය මගින් ප්‍රචාරණ ලබා දීම හා එමඟින් පැමිණෙන ඕනෑම අයෙකුට ශාස්ත්‍රය ඉගැන්වීමට සූදානම් වීම.

· මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතා කිරීම.


·වෙනත් සාම්ප්‍රදායික (ඉන්දීය, ද්‍රවිඩ, චීන) ඇඳුම් පැලඳුම් භාවිතා කිරීම හා ඉන්දියානු හෝ වෙනත් රටවල භාවිතා වන ආයිත්තම්, සංගීත භාණ්ඩ, ආයුධ ආදිය භාවිතා කිරීම.




සැබෑ අංගම්පොර සටන් සම්ප්‍රදායන් හා ශිල්පීන් හඳුනාගන්නේ කෙසේද?


මෙම බ්ලොක්කරණයේ අරමුණ වන්නේ සාම්ප්‍රදායික නිවැරදි සටන් ශාස්ත්‍රය හදාරන හා එය දිවි හිමියෙන් අද වන තුරු පවත්වාගෙන පැමිණි සටන් ශිල්පීන් කවුරුන්දැයි හෙලි කිරීම නොමැතිනම් ඔවුන්ට ප්‍රචාරණයක් ලබා දීම නොවේ. එසේම අප මෙහිදී පැවසිය යුත්තක් වන්නේ අප පාරම්පරික ශිල්පීන්ට එය එලෙසම පවත්වාගෙන යාමට ඉඩදීම යනු ඔවුන්ගේ විශ්වාසයට අනුව ඔවුන්ව හැකිතාක් දුරට ඔවුන්ගේ රහසිගතභාවය පවත්වාගෙන යාමට උදව් කිරීම මිස ඔවුන්ව මෙම හොරුන් ගොඩට ගෙන දමා ඔවුන්ද මෙම විවෘත්ත ආර්ථිකයේ තවත් විත්තිකරුවෙකු බවට පත් කිරීම නොවේ.
එමනිසාවෙන්ම අප මෙම බ්ලොගය තුළින් සැබෑ පුද්ගලයින් පෙන්වීම හෝ ඔවුන්ම වාණිජකරණය කිරීම සිදු නොකරන්නේ යයි දිවුරා ප්‍රකාශ කරමු. මෙය ඇතැමෙක් තර්ක කළ හැක්කේ එසේ ඔවුන්ව සඟවා තැබීමෙන් මෙම ශාස්ත්‍රය තවදුරටත් හානියට පත් වනවා යයි කියා ය. නමුත් අංගම්පොර සටන් ශිල්පය යනු පාරම්පරික සිංහල බෙෘද්ධයන්ගේ රහස්‍ය භාවගත ශාස්ත්‍රයක් වන බැවින් එහි රහස්‍ය භාවය තුළ එයට ලැබෙන ආරක්ෂාව එය ප්‍රසිද්ධ කිරීමෙන් නොලැබෙන නිසාවෙනි. තවත් අතකින් ඔවුන්ගේ ඉතිහාසය හා සාම්ප්‍රධායික බැඳීම් අප මෙහිලා හෙලි කළහොත් මෙම හොරුන් හෙට දවසේ එම කරුණු පිටපත් කොට තමන්ගේ ඉතිහාසයක් නිර්මාණය කර ගන්නවාට කිසිඳු සැකයක් නැත.
නමුදු සැබෑ ශිල්පීන් හඳුනා ගැනීමේදී ඔවුන්ගේ නීතිරීති හා සම්ප්‍රධායන් පහත පරිදි සඳහන් ‍කරමු.

සැ.යු.
මෙම කරුණු අංගම්හොරුන්හට පිටපත් කර හෙට දවසේ තම වාසියට හරවා භාවිතා කිරීම උදෙසා නොවේ.
·සාම්ප්‍රදායිකව පවත්වාගෙන ආ ගම්වර, නම්බුනාම, හා ඉතිහාස කෘතිවලින් (මහාවංශය, රාජාවලිය ආදී) ඔවුන් ලබාගෙන ඇති ඓතිහාසාත්මක සාක්ෂි පැවතීම.

· සිංහල බෙෘද්ධයින්ට පමණක් මෙම ශාස්ත්‍රය වේලාපත්කඩය අනුව ඉගැන්වීම.

·පැරණි රදල කුලයකින් අද වෙන තුරු පවතින පරම්පරාවක් වීම (පහත් කුලවල පිරිස්වලට ඉතිහාසයේදී මෙම ශාස්ත්‍රය උගන්වා නැති නිසා)

·වෙනත් කිසිඳු සටන් ශාස්ත්‍රයක් ප්‍රගුණ නොකිරීම හා මෙම ශාස්ත්‍රය දිවිහිමියෙන් ආගමානුකූලව හා ශාස්ත්‍රානුකූලව, නකත් ශාස්ත්‍රයට අනුව පමණක් තම ශිෂ්‍යයින්ට ඉගැන්වීම. (තම පරම්පරාවෙන් පිට ශාස්ත්‍රය දීම හෝ නොදීම අදාල නොවේ)

·ඉතිහාසය පිළිබඳ ස්ථීර විඥානය, පැරණි පොත පත අධ්‍යනය කර තිබීම, සිංහල භාෂා ඥානය, පැරණි අධ්‍යාපන ක්‍රමයේ මූලිකාංග පිළිබඳ අවබෝධය ආදි ලක්ෂණ සතු වීම.

·පරම්පරාවට ලැබී ඇති අවිආයුධ, පැරණි ලියකියවිලි, පුස්කොලපොත් ආදිය සතු වීම හා ඒවා ආරක්ෂා කිරීම.

·අන්‍යාගමික්යින්ට හා පරදේසක්කාරයින්ට (විශේෂයෙන් යුරෝපියන්ට හා ද්‍රවිඩයන්ට හා මුස්ලිම් ජාතිකයන්ට) මෙම ශාස්ත්‍රය ප්‍රගුණ කිරීමෙන් වැලකී සිටීම.

·රට, ජාතිය හා බෙෘද්ධාගම පිළිබඳ දැඩි බැඳීමක් පැවතීම හා සෘජුව සිංහල ජාතිය හා බෙෘද්ධ ආගම පිළිබඳව කතා කිරීම.

·හෙළ (යක්ෂ, දේව, නාග හා සිංහ ගෝත්‍රික) දේහ ලක්ෂණ සතුවීම. මෙය හදුනාගැනීම ඉතා අසීරු වන  නමුත් මනා පෙෘර්ෂය, සෘජුව කතා කිරීම, මනා හික්මීමක් තිබීම, හරක්මස් අනුභව නොකිරීම (බොහෝවිට නිර්මාංශික වීම), පන්සිල් ආරක්ෂා කිරීම, තේජාන්විත ලීලාව වැනි ලක්ෂණ තිබීම.
සැ.යු. හම කළු හෝ සුදු වීම දේහලක්ෂණයක් නොවේ

·මෙම සටන් ශාස්ත්‍රය ක්‍රීඩාවක් ලෙස නොසැලකීම හා එය පාරම්පරික සම්ප්‍රදායක් ලෙස ගරු ගාම්භීරව පවත්වාගෙන ඒම.

·පෝස්ටර්, බැනර්, කටවුට් හා වෙනත් මාධ්‍ය මගින් ප්‍රචාරණ ලබා නොදීම හා එමඟින් පැමිණෙන ඕනෑම අයෙකුට ශාස්ත්‍රය ඉගැන්වීමට සූදානම් නොවීම.

· මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතා නොකිරීම.

·සාම්ප්‍රදායික ඇඳුම් පැලඳුම් භාවිතා කිරීම හා ඉන්දියානු හෝ වෙනත් රටවල භාවිතා වන ඇඳුම් ආයිත්තම්, සංගීත භාණ්ඩ, ආයුධ ආදිය භාවිතා නොකිරීම.

සැ.යු. සාම්ප්‍රදායික ඇදුම් පැලඳුම් ආදිය පිලිබඳව අප හට කිව හැකි කරුණු අල්ප ය. එයට හේතුව ‍එම නම් පවා හෙට දවසේ පිටපත් කිරීමට සූදානම් අංගම්හොරුන් බිහිවී සිටින නිසාවෙනි.


නිල ශාස්ත්‍රය

 සම්පුර්න අංගම් සටන්කලාව ඉගෙනගැනීමට එක් පුද්ගලයෙකුට තම ජීවතකාලය මදිබව අංගම් ශිල්පීන් පවසන්නේත් මෙම ශිල්පයේ ඇති තියුණුබව නිසාමය. මෙහිදී ඉතාවැදගත් වෙන්නේ නිල ශාස්ත්‍රය පිළිබද දැනුමයි. මෙම නිල කලාව අනෙක් සටන්ක්‍රම වලදී එතරම් සාර්ථක ලෙස භාවිතවන්නේ නැත. සිංහල සටන්ක්‍රමය තුල නිලවලට පහරදෙන ක්‍රම රැසක් දැකගත හැකිය.ඒ අතර

  • නිළ අල්ලා පහරදීම.
  • එවෙලේම මරනය ගෙනදෙන නිළ පහර
  • නිළ අල්ලා අංශයක් පණ නැතිකරවීම
  • නිළ බලා ලේ වමණ යන්න පහරදීම.
  • ගනිත ක්‍රමයට යම්කිසි වේලාවකට පසු මැරෙන්න පහරදිම.
  • සිහිනැතිවිම සදහා පමණක් දෙන පහර.
  • සුව වීමට කල්ගතවන රෝග සදහා නිළපහරදිම.
  • මළ මුත්‍රා පහවිමට නිල ඇල්ලීම.


ආදී වසයෙන් සිරුරේ නිළ බලාපහරදීම අංගම් සටන්කලාවේ ඉතා වැදගත් ලක්ෂණයකි.

අංගම් සටන්කරුවකු තුල කපුටාගේ ඇසත් , මොනරාගේ කනත් , වදුරාගේ පැනිල්ලත් , කොටියාගේ ගමන්විලාසයත් , වලසාගේ බදාගැනිමත් යන සියල්ල එකවර සිදුවිය යුතුය.

අංගම් සටන්කරුවා යනු මනා හික්මීමක් , ඉවසීමක් ප්‍රගුණකරණලද අය වෙති.එය ඔහුට ලැබෙන්නේ බුදු දහම තුලින්ය . අංගම් සටන්කරුවාගේ ශක්තිය පුදුම සහගතය . ඔහු තම ශක්තිය විදහාපෑම සදහා විවිධ අභ්‍යාසවල නිරතවෙයි.

හිසෙන් පොල් පැලීම , පොල් ගෙඩිය උඩවිසි කර දෙපළුවෙන්න පා පහර ගැසීම ; ඇත් දලයක් පොලොවේ වලලා තනි අතින් ඇද ගැලවිම ; පොලු අට කැඩීම ; කුළු හරක් මෙල්ල කිරීම ; විශාල ගල් , ගස් කදන් ඈතට විසි කිරිම ; පොල් ගසට පයින් ගසා පොල් කැඩීම ; පුවක් ගෙඩිය ඇගිලි දෙකෙන් අල්ලා පොඩි කිරීම ; මිනිසුන් දහ පහලොස් දෙනා සමග තනිව සටන් කිරීම ;ඇස්, අතපය බැද‍ගෙන සටන් කිරිම ආදිය මොවුන් විසින් තම ශක්තිය විදහාපැමට සිදුකරනු ලබයි.

නමුත් සිංහලයාගේ මෙම දක්ෂතා අද දක්නට නොමැත . අංගම් සටන්කළාව පරිහානියට පත්වෙන්නේ යුරෝපීය ආක්‍රමණයත් සමගය . අවුරුදු 500 ක් පුරා සිංහලයන් සමග බටහිර ජාතිකයන් කළ සටනත් සමග සිංහල සටන් කරුවන් අභාවයට පත්වූ අතර යම් තරමින් ආරක්ෂාවී ඇත.

උපුටනයකි .......

Thursday, September 29, 2022

නව මාධ්‍ය ,සමාජ මාධ්‍ය සහ සමාජය

නව මාධ්‍ය ,සමාජ මාධ්‍ය සහ සමාජය
අප මේ වන විට පරිගණක යුගයකට පැමිණ ඇතැයි ඇතැමෙක් කියති. අප දැන් තොරතුරු යුගයක ජීවත් වන්නේ යැයි තවත් අයෙක් අයෙක් කියති. අප සිටින්නේ තොරතුරු සන්නිවේදන යුගයක ඇයි තවත් පිරිසක්ඟේ මතයයි. කෙසේ වෙතත් පසුගිය සමය තුල දී ලෝකය තුළ තොරතුරු ගලනය සහ සන්නිවේදනය සුවිශාල වෙනස්කම් සිදු වී තිබෙනවා. විශේෂයෙන් පසුගිය දශකයේ පමනක් ලෝකයේ තුළ තොරතුරු ගලනය සහ සන්නිවේදනයේ සිදු වූ වෙනස්කම් අති ප්‍රබලය. එහිදි සමාජ වෙබ් අඩවි සඳහා විශේෂ තැනක් හිමිවේ. සමාජ වෙබ් අඩවියක් යනු නව මාධ්‍යයේ කොටසකි.නව මාධ්‍ය යැයි කියනු ලබන්නේ සරල අර්ථයෙන් පැවසුවහොත් ඩිජිටල් ක්‍රමවේදයක් අනුගමණය කරමින් සන්නිවේදනය කෙරෙන ඕනෑම මාධ්‍යයකි. මාධ්‍ය සංයුක්ත තැටි චන්ද්‍රිකා රූපවාහිනී, අන්තර්ජාලය, ජංගම දුරකතනය මේ ආදිය ඩිජිටල් ක්‍රමයක් භාවිත වන නව මාධ්‍ය වශයෙන් ගණන් ගනු ලැබේ.

 

සමාජ මාධ්‍ය යනු නව මාධ්‍යයේ කොටසක් වන අතර සමාජ මාධ්‍ය වල අති විශේෂිත ලක්ෂණ වන්නේ අන්තර් ක්‍රියාකාරී ගුණයයි. සමාජ මාධ්‍ය සඳහා මනා නිදසුනක් ලෙස ෆේස්බුක් වෙබ් වෙබ් අඩවිය පෙන්වා දීමට පුළුවන. අයකුට ෆේස්බුක් භාවිතා කරමින් බොහෝ දෙනකු සමග එකවර සන්නිවේදනය කිරීමේ හැකියාව ලැබේ. එනම් එය අන්තර් ක්‍රියාකාරී ගුණයෙන් යුක්තය. ඒ අනුව ෆේස් බුක් යන සමාජ මාධ්‍ය මෙන්ම නව මාධ්‍යයක් වන නමුත් සෑම නව මාධ්‍යක්ම සමාජ මාධ්‍යයක් නොවේ. නිදසුනක් ලෙස විකිපීඩියා වෙබ් අඩවිය ගතහොත් ඒ නව මාධ්‍යයකි. එහෙත් එය සමාජ මාධ්‍යක් වශයෙන් ගණන් නොගැනේ. ඊට හේතුව වන්නේ පුවත්පතක් මෙන් හුදෙක් කියවීමෙහි මූලික අර්ථය වීම සහ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය මෙහි අන්තර් ක්‍රියාකාරී ගුණයක් නොතිබීමයි. නව මාධ්‍ය සහ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ දී යහපත් ප්‍රතිඵල මෙන්ම අයහපත් බලපෑම ද ඇති බව පසුගිය කාලය මුළුල්ලේ ම දැක ගැනීමට හැකියාව ලැබී ඇත .යහපත් ලක්ෂණ සලකා බැලීමේදී නව මාධ්‍ය සහ සමාජ මාධ්‍ය අද අධ්‍යාපනික මෙවලමක් වශයෙන් ද මෑත භාගයේ දී ඉතා ප්‍රයෝජනවත් වී ඇත. බොහෝ කාර්යාල පර්යේෂණ ආයතන, තොරතුරු මධ්‍යස්ථාන, අධ්‍යාපන ආයතන, විශ්වවිද්‍යාල ආදිය නව මාධ්‍ය සහ සමාජ මාධ්‍ය අද වන විට ලෝකය පුරා ශීඝ්‍රයෙන් භාවිත කරනු ලබයි. දීර්ඝ කාලයක් ශ්‍රමය වැය කර ගැනීමට තිබූ කාර්යයන් පහසුවෙන් ඉටුකර ඉටුකරගැනීමට නව මාද්‍ය තුලින් හැකිවී තිබේ. ඊමේල්, සංයුක්ත තැටි,ඩීවීඩී, ෆ්ලෑෂ් ඩ්‍රයිව් ආදී නව මාධ්‍ය තුලින් එක් මොහොතකින් ලෝකය පුරා තොරතුරු හුවමාරු කර ගැනීමට හැකි තත්ත්වයක් දැන් උදා වී ඇත.
තොරතුරු යාවත්කාලීන වීමේ වේගය ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. කිසියම් ලේඛන හෝ දත්ත පද්ධතියක් නැවත නැවතත් පිටපත් කර ගැනීමේදී නව මාධ්‍ය හඳුන්වාදීමත් සමග විශාල පහසුවක් ඇති වී තිබේ. දීර්ඝ ලේඛන වුවද සංයුක්ත තැටියකට ගබඩා කොට අවශ්‍ය පිටපත් සංඛ්‍යාවක් නිර්මාණය කර ගැනීම කෙතරම් පහසු කාර්යයක් වී ඇද්දැයි අද වන විට නව මාධ්‍ය භාවිතයෙන් ද පෙන්වා දිය හැක. ඊට අමතරව පුද්ගලයන් අතර විවිධාකාර සම්බන්ධතා පවත්වා ගැනීමට නව මාධ්‍ය භාවිතයට ගනී. පවුල්වල සාමාජිකයන් මිතුරන් අතර මෙන්ම ව්‍යාපාරික සබඳතා සඳහා ද මාධ්‍ය බෙහෙවින් වැදගත් වේ. ලොව පුරා වෙසෙන මිනිසුන් සමග ඒ මොහොතේ ම සම්බන්ධතා පවත්වා ගැනීම දැන් ඉතා සරල කරුණක් වී තිබෙනවා. ඊට අමතරව ඡායාරූප ගීත සහ වීඩියෝ හුවමාරු කරගැනීම ද ක්ෂණික ව සිදු කළ හැකිය. වීඩියෝ මගින් පෞද්ගලික මෙන්ම රාජකාරි සංවාද සඳහා පහසුකම් සපයන මෙවලමක් බවට ද නවමාධය පත්වී ඇත. එසේම වාණිජමය අවශ්‍යතා සඳහාද නව මාධ්‍ය යොදා ගැනීමක් සිදු කරනු ලබයි. වෙබ් අඩවි තුලින් භාණ්ඩ ප්‍රචාරය කර ගත හැකිය. ෆේස්බුක්, යූටියුබ්, ට්විටර් වැනි වෙබ් අඩවි වාණිජ අරමුණු වෙනුවෙන් මේ වන විට ඉතා හොඳින් යොදා යොදාගනිමින් පවතී. ලෝකේ ඕනෑම ස්ථානයකට මුදල් යැවීමට,බැංකු ශේෂය දැන ගැනීමට, කොටස් ගනුදෙනු සඳහා ද නව මාධ්‍ය නැති බැරි තත්ත්වයක් බවට පත්වී තිබේ. නව සහ සමාජ මාධ්‍ය වල ඇති අඩුපාඩුවක් වන්නේ තොරතුරු අවභාවිතය යි.

 

බොහෝ විට ෆේස්බුක් වැනි සමාජ ජාලාවල මෙවැනි තොරතුරු අවභාවිත වීම විශාල වශයෙන් වාර්තා වී තිබේ. ඊට අමතරව යූටියුබ්. ගූගල් ප්ලස් ආදී වූ සෑම සමාජ මාධ්‍ය ජාලයකම තොරතුරු අවභාවිත වීමේ අවදානම අඩු හෝ වැඩි වශයෙන් සිදුවේ. ලංකාවේදී ෆේස්බුක් භාවිතය සම්බන්ධ ගැටලු රාශියක් උද්ගත වූ බව පසුගිය කාලසීමාවේදී බොහෝ දෙනෙකුට දැකගැනීමට ලැබිණ. වර්තමානයේ වන විට වන විට ලෝකයේ ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට ෆේස්බුක් පත් වී ඇති අතර ඒ මිනිසාගේ එදිනෙදා ජීවිතයට ඇතැම් අවස්ථාවලදී අහිතකර ලෙස බලපා තිබේ. පෞද්ගලික ජීවිතයේ සංවේදී තොරතුරු හෙළිදරව් වීම මුලින්ම නැගෙන චෝදනාවයි. කිසියම් අයෙකුගේ පෞද්ගලික ජීවිතයට අදාළ තොරතුරු යාවත්කාලීන කිරීමේ අදාළ පුද්ගලයා විසින් පමණක් නොවේ ෆේස්බුක් ඔහුගේ හෝ ඇයගේ මිතුරු මිතුරියන් විසින් දේ සිදු කෙරේ. නිදසුනක් ලෙස ඡායාරූපයක් ටැග් කිරීම කළ හැකිය.ෆේස්බුක් කෙරෙහි නැගෙන අනෙක් චෝදනාව වන්නේ ඒ නිකරුනේ මිනිස් ජීවිත විනාශ කර දමන්නක් බවයි. ඇතැම් පිරිස් ෆේස්බුක් වෙත ඇබ්බැහි වීමෙන් දිනයේ වැඩ කළ හැකි කාලයේ බොහෝ ප්‍රමාණයක් ෆේස්බුක් වෙනුවෙන් වැය කරති.ඇතැම්විට රාජකාරි ස්ථානවල එදිනෙදා ක්‍රියාවලියටද බලපෑම් එල්ල කිරීමක් එය හරහා සිදුවේ. මෙහි ඊළඟ ගැටලුව නම් එහි ලියා පදිංචි වී සිටින භාවිතකරුවන්ගේ තොරතුරු පරිගණක හොරු විසින් තෝරා ගනු ලැබීමයි. ඇතැම් පරිගණක දත්ත සොරා ගන්නේ ෆේස්බුක් ලෙස සියයට සීයක් සමානව පෙනී යන ව්‍යාජ වෙබ් අඩවිය ඔස්සේය. අන්තර්ජාලය ඔස්සේ අපහස උපහාස සිදුකිරීම සහ පුද්ගල චරිතය ඝාතනය වැනි දෑ ද සමාජ මාධ්‍ය වලින් ඇතිවන අයහපත් බලපෑම් ය. ඇතැම් පුද්ගලයෝ ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යති.

 

ඕනෑම අයෙකුට ඕනෑම තරම් ව්‍යාජ ගිණුම් සකස් කර ගැනීමේ හැකියාවක් ඇති බැවින් විශ්වාසනීයත්වය සම්බන්ධයෙන් බරපතළ ගැටළුවක් ඇතිවීම සමාජ මාධ්‍යවල තවත් අයහපත් ලක්ෂණයකි. මීට අමතරව සංවිධිත අපරාධ සඳහා ද සමාජ මාධ්‍ය යොදා ගැනේ. නිදසුනක් ලෙස ඇතැම් අන්තවාදී සටන්කාමී සංවිධාන වල මත වාද ප්‍රචාරය කිරීම සඳහා ෆේස්බුක්, ට්වීටර්, යූටියුබ් වැනි සමාජ වෙබ් අඩවි සාර්ථක ලෙස යොදා ගත් බව පසුගිය කාල වකවානුව තුල අපට දක්නට ලැබුණි. සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් එල්ල එල්ල වන අනෙක් චෝදනාව නම් ඒ තුළින් භාෂාව මනා සැකැස්මකට තර්ජනය එල්ල වන බවයි. එසේම භාෂාව සඳහා කෙටි යෙදුම් යෙදීම ඔස්සේ ඒ තුළින් වඩාත් සාරගර්භ සංකල්ප ගුණය ගැනීමට ඇති හැකියාව තර්ජනයට ලක්වන බව ඇතැම් විශ්ලේෂකයන්ගේ අදහසයි. කෙසේ වෙතත් සමාජ මාධ්‍ය හා නව මාධ්‍ය තුළින් වඩාත් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට පුද්ගලයාට හැකිවේ.ඒ තීරණය වන්නේ සමාජ මාධ්‍ය හා නව මාධ්‍ය පුද්ගලයා භාවිතයට ගන්නා ආකාරය අනුවයි.ඉතා විශිෂ්ට කාර්යයන් රැසක් සිදු කර ගැනීමට හැකියාව ලැබෙන මෙම නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය අ නිසි ලෙස ප්‍රයෝජනයට නොගැනීමට අප වගබලාගත යුතු ය.

ඡායාරූ ගමන්මග

  ඡායාරූ ගමන්මග  අද අප භාවිතා කරන අධි තාක්ෂණික කැමරාව සිය හැකියාවන් අත්පත් කර ගැනීමට එය ඉතා දිගු ‌‌ෙඑතිහාසික කඩයිම් රාශියක් පසුකර පැමිණ ඇතග ...